ඊශ්‍රායලයෙන් දිගටම ලෙබනනයට ප්‍රහාර



සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබියදී, ඊශ්‍රායල හමුදා ලෙබනනයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන් ගතවූ පැය 24 තුළ 39 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

දකුණු ලෙබනනයේ සක්සකියේ නගරයට එල්ල වූ එක් ගුවන් ප්‍රහාරයකින් පමණක් කුඩා දරුවකු ඇතුළු හත් දෙනකු මියගොස් තවත් 15 දෙනකු තුවාල ලැබූ බව පැවැසෙයි. 

මෙම ප්‍රහාර එල්ල වූයේ ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කර ගනිමින් බවත්, සිවිල් වැසියන්ට සිදුවූ හානිය පිළිබඳව තමන් දැනුවත් බවත් ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසා ඇත.

ඉකුත් අප්‍රේල් 16 වනදා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ ද, දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරු තවදුරටත් සිදුවෙමින් පවතී. 

ලෙබනනයේ නබාටියේ ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සිරියානු ජාතිකයෙකු සහ ඔහුගේ 12 හැවිරිදි දියණිය ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී ඇති අතර, එහිදී පියා මියගොස් දියණිය දැඩි ලෙස තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, පසුගිය සතිය තුළ පමණක් ඊශ්‍රායල ප්‍රහාරවලින් කාන්තාවන් සහ දරුවන් ඇතුළු 120 කට වැඩි පිරිසක් මියගොස් ඇත.

 


RECOMMEND POSTS