අල් අසාද්ට මරණ දඬුවම

සිරියානු හිටපු ජනාධිපති බෂාර් අල් අසාද් යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි චෝදනාවලට වරදකරු කරමින් එරට අධිකරණ අසාද්ට ඊයේ(11) මරණ දඬුවම නියම කර තිබේ.
ඔහුගේ බාල සොහොයුරු සහ හිටපු සිරියානු හමුදා නායකයකු වූ මහර් අල් අසාද්ට සහ අසාද්ගේ මවගේ පාර්ශ්වයේ ඥාතියකු වන බි්‍රගේඩියර් ජෙනරාල් අටෙෆ් නජීබ්ට එම නඩුවේදී මරණ දඬුවම නියම කර ඇත. ලක්ෂ පහක පමණ ජනතාවක් මරණයට පත්කරමින් වසර 14ක් පුරා පැවැති සිරියානු අර්බුදයේදී බෂාර් අල් අසාද් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ යුද අපරාධ සිදුකර ඇති බව අධිකරණය එහිදී තීරණය කර තිබිණි.
එසේම නජීබ් සිතාමතා වයස අවුරුදු 15 අඩු ළමයින් ඝාතනය කර ඇති බවත් මියයන ආකාරයේ වධහිංසා පමුණුවා ඇති බවත් අධිකරණය තීරණය කර ඇත. කෙසේ නමුත් බෂාර් අල් අසාද්ගේ පාලනය බිඳ වැටීමත් සමග 2024 වසරේ දෙසැම්බර් මාසයේදී රුසියාවේ මොස්කව් නගරය බලා පළා ගොස් තිබූ අතර ඒ හේතුවෙන් ඔහු නොමැතිව සිරියානු අධිකරණය නඩුව විභාග කර තිබිණි.
කෙසේ වෙතත් බෂාර් අල් අසාද් පළා ගිය අවස්ථාවේ වත්මන් රජය නජීබ්ව සිරගත කර තිබූ අතර සිරභාරයට ලක්වූ අසාද් පාලනයේ ඉහළම නිලධාරියාද ඔහු වූවේය. සිරභාරයේ සිට නජීබ්ව නඩු විභාගය සඳහා යොමුකර තිබිණි. නව රජය පත්වීමෙන් අනතුරුව අසාද් පවුලට එරෙහිව එරට අධිකරණය ලබාදුන් පළමු නඩු තීන්දුව මෙය බවද සැළකේ.
අසාද් පාලනය බිඳවැටීමෙන් පසු, ඇමෙරිකාව විසින් කලක් ත්‍රස්තවාදියකු ලෙස නම් කර තිබූ හිටපු අල්කයිඩා සටන්කාමියකු වන අහමඩ් අල්-ෂරා සිරියාවේ නව පාලනයක් පිහිටුවීමට කටයුතු කළේය.

