මෙලානියාගේ සටන් විරාමය
ඔබ දන්නවාද? රුසියන් යුක්රේන යුද්ධයට මැදිවුණු, නැගෙනහිර යුක්රේනයේ, ඔලෙෂ්කි නමැති නගරයේ, අන්ත අසරණ වුණු වැසියන්ට බලාපොරොත්තුවේ අලුත් අරුණලු උදා කිරීමට ඇමෙරිකන් ජනාධිපති ආර්යාව මෙලානියා ට්රම්ප් සමත් වූ බව. ඇය එසේ කළේ ඔලෙෂ්කි නගරය වෙනුවෙන් සාර්ථක සටන් විරාමයක් ඇති කිරීමට රුසියන් සහ යුක්රේන බලධාරීන් එකඟ කර ගනිමිනි.
මෙලානියා ට්රම්ප්ගේ මැදිහත් වීමෙන්, ඔලෙෂ්කි නගර සඳහා පමණක් විශේෂ සටන් විරාමයක් ආරම්භ වුණු බව ධවල මන්දිරය පමණක් නොව, යුක්රේනයත්, රුසියාවත් තහවුරු කර ඇත. මෙලානියා ඇගේ කණ්ඩායම මෙහෙයවමින්, සාම මැදහත්කාරියක වෙමින්, ඔලෙෂ්කි නගරය සදහා සටන් විරාමයක් ඇති කර ගත්තේ, යුක්රේන බලධාරීන් සහ රුසියන් බලධාරීන් සමග දුරකතන ඔස්සේ සාකච්ඡා පවත්වමිනි.
ලෝකෙට ලොක්කා වන ඇමෙරිකා ජනාධිපති ආර්යාව ඉංග්රීසි බසින් හදුන්වන්නේ, ‘ෆර්ස් ලේඩි’ (පළමු කාන්තාව) යන ගෞරව නාමයෙනි. ඇමෙරිකන් ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් නියම වූ නිල රාජකාරි හෝ වැටුපක් ජනාධිපති ආර්යාවට හිමි වන්නේ නැත.
ජනාධිපති නිල නිවස වන ධවල මන්දිරයේ රාජ්ය භෝජන සංග්රහ සහ උත්සවවල ප්රධාන සත්කාරකත්වය දැරීම, සමාජීය සහ සුබසාධන වැඩසටහන් ප්රවර්ධනය කිරීම, රාජ්යතාන්ත්රික සංචාර සහ උත්සවවලදී සංකේතාත්මක නියෝජනය ඇමෙරිකන් ජනාධිපති ආර්යාවයට පැවරෙයි.
ධවල මන්දිරයේ ජනාධිපති ආර්යාව වෙනුවෙන් වෙනම කාර්යාලයක් ඇති අතර, ජනාධිපති ආර්යාව වෙනුවෙන් වෙනම කණ්ඩායමක් ද සිටී. වත්මන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ බිරිද මෙලානියා, 1970 අප්රේල් 26 වැනිදා, එදා යුගෝස්ලාවියාවට අයත්ව තිබූ (වර්තමාන ස්ලෝවේනියාවේ) නෝවෝ මෙස්ටෝ නුවරදී උපත ලැබුවාය. ඇයට ස්ලෝවේනියා, ඉංග්රීසි, ප්රංශ, සර්බියා, ජර්මන් සහ රුසියන් යන භාෂා චතුර ලෙස පුළුවනි.
අවුරුදු 16 දී මොඩලින් (නිරූපණ) ක්ෂේත්රයට පිවිසි මෙලානියා, අවුරුදු 18 දී මිලාන් නගරයේ මොඩ්ලින් නියෝජිතායතනයක් සමග ගිවිසුම්කට අත්සන් කළාය. මිලාන් සහ පැරිස් නගරවල ප්රමුඛ පෙළේ විලාසිතා ආයතන සමග කටයුතු කිරීමෙන් පසු, 1996 දී ඇය සිය නිරූපණ වෘත්තිය පුළුල් කරගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරට පදිංචියට පැමිණියාය.
1998 දී නිව්යෝක් නුවර සාදයකදී ඇයට ප්රකෝටිපති ව්යාපාරික ඩොනල්ඩ් ට්රම්ප් හමුවිය. 2004 දී විවාහ ගිවිස ගැනීමෙන් පසුව, දෙදෙනාගේ විවාහ මංගල උත්සවය 2005 ජනවාරි 22 වැනිදා පැවැත්විණි. ට්රම්ප් සහ මිලානියාට එක් පුතෙක් සිටී. ඔහු බැරන් ට්රම්ප්ය.
ට්රම්ප් මේ වනවිට හොබවන්නේ සිය දෙවැනි ධුරයයි. සිය දෙවැනි ධුරය ආරම්භ වූයේ 2025 දීය. තමන් ජනාධිපති ධුරයට ආ සැණින් රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරනවා යැයි ට්රම්ප් සිය මැතිවරණ රැලිවලදී පොරොන්දු වී තිබුණි. ඒත් අද වෙනකල් ට්රම්ප්ට එය කළ නොහැකි විය. මේ සම්බන්ධයෙන් මෙලානියා තමන් නිතර සමච්චලයට ලක් කරන බව ට්රම්ප් ප්රසිද්ධියේ පවසා ඇත.
රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට ට්රම්ප් සාම නියෝජිතයන් දෙදෙනකු ද පත් කර ඇත. ට්රම්ප් අවස්ථා ගණනාවකදී, රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී මෙන්ම රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පැවැත්විය.
එම සාකච්ඡාවල ප්රතිඵලයක් ලෙස දෙරට අතරේ යුද සිරකරුවන් ද හුවමාරු වී ඇත. ඒත් යුද්ධයේ අවසානයක් හෝ අඩු තරමේ තිරසාර සටන් විරාමයක් හෝ ඇති කිරීමට ට්රම්ප්ට හැකියාව ලැබුණේ නැත. මෛය ට්රම්ප් ද පිළිගන්නා කාරණාවකි.
රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වූයේ යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දෙන්නැයි බටහිර හිතවාදී යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, දිගින් දිගටම ඉල්ලීම් කළ බැවිනි. නේටෝ යනු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයයි. මෙය ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර යුරෝපා රටවල් එක් වී රුසියාවෙන් එල්ල වන තර්ජනවලට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි. සෝවියට් සමූහාණ්ඩුව පැවැති සමයේ යුක්රේනය සෝවියට් සමූහාණ්ඩුවේ කොටසක් විය.
සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමත් සමග, 1991 අගෝස්තු 24 වැනිදා යුක්රේනය නිල වශයෙන් ස්වාධීන රාජ්යයක් ලෙස ප්රකාශයට පත් කරන ලදී. යුක්රේනය නැගෙනහිරින් රුසියාවට මායිම් වෙයි. උතුරුන් මායිම් වන්නේ බෙලරූසයටය. බටහිරින් පෝලන්තය, ස්ලෝවැකියාව සහ හංගේරියාව පිහිටයි. නිරිත දෙසින් පිහිටා ඇත්තේ රුමේනියාව සහ මෝල්ඩෝවාවය.
මේ අසල්වැසි රටවල්වලින් පෝලන්තය, හංගේරියාව, ස්ලෝවැකියාව සහ රුමේනියාව නේටෝ සාමාජිකයන්ය. යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලැබීම රුසියාවට විශාල තර්ජනයක් බව පැහැදිලිය.
තම සමීපතම අසල්වැසියා වන යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලැබෙනවාට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් තරයේ විරුද්ධ විය. ඒ අනුව, ඔහු යුක්රේනයට එරෙහිව, 2022 පෙබරවාරි 4 වැනිදා, හමුදා ක්රියාමාර්ගයක් අනුගමනය කළේය.
රුසියන් හමුදා, යුක්රේන හමුදා සමග සටන් කරමින් යුක්රේනයේ නැගෙනහිර සහ ගිණිකොණදිග පළාත් සහ ප්රධාන නගර එකිනෙක අල්ලා ගත්තේය. මෙම නැගනෙහිර පළාත්වල රුසියන් භාෂාව කතා කරන වැසියෝ ද වෙති. පොදුවේ යුක්රේන වැසියන් කතා කරන්නේ යුක්රේන භාෂාවය.
දරුණු සටන්වලින් පසු රුසියන් හමුදා මේ වනවිට, නැගෙනහිර සහ ගිනිකොනදිග යුක්රේනයේ ප්රධාන පළාත් (ඔබ්ලාස්ට්ස්) කිහිපයක සැලකිය යුතු භූමි ප්රමාණයක් තම පාලනයට ගෙන ඇත. එසේ වුවත් යුක්රේන හමුදා නිරන්කරයෙන් ප්රති ප්රහාර එල්ල කරමින් මෙම පළාත් යළි මුදා ගැනීමට උත්සාහ දරමින් සිටී. රුසියන් යුක්රේන යුද්ධයේ පෙරමුණ සටන් පවතින්නේ මෙම පළාත්වලය. රුසියන් හමුදා එසේ අල්ලා ගත් එක් නගරයක් වන්නේ ඔලෙෂ්කි ය.
යුද්ධයට පෙර 24,000 ක ජනගහනයක් විසූ මෙම කගරයේ දැනට කුඩා දරුවන් 200 දෙනකු ඇතුළු 6,000 ක පමණ පිරිසක් කොටුවී සිටිති. පසුගිය වසර ගණනාව තිස්සේ යුද ගැටුමට මැදිවුණු ඔලෙෂ්කි වැසියන්ගේ ජීවිතය අතිශයින්ම ඛේදනීය එකක් විය.
ආහාර, පිරිසුදු පානීය ජලය සහ ඖෂධ නොමැතිව අසරණ වුණු නගරයේ ඉතිරි වුණු මෙම වැසියන්ට ජීවිතය ගැටගසා ගැනීමට වල් පැලෑටි පවා ආහාරයට ගනිමිනි. ඉතිරි වූ නගර වැසියන්ට නගරයෙන් පිටවීමට හැකියාවක් නැත්තේ බිම බෝම්බ හතර වටේ වළලා ඇති බැවිනි.
නගරයේ ඇත්තේ එකම රෝහලක් පමණක් වුවත්, එහි ඖෂධ කිසිවක් නොමැත. එහි සිදුවන්නේ යුද්ධයෙන් තුවාල ලබන අයගේ අත් පා කපා ඉවත් කිරීම පමණි. ඒ නිර්වින්දනය නොකරය. රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ආරම්භයේ පටන් කම්පා වුණු තැතැත්තියක වන්නේ මෙලානියාය.
මීට පෙර රුසියන් හමුදා විසින් අල්ලා ගනු ලැබූ යුක්රේන කුඩා දරුවන් පිරිසක් ආපසු යුක්රේනයේ ඔවුන්ගේ මාපියන් සහ භාරකරුවන්ට ලබා දීමට ද මැදිහත් වී කටයුතු කළේ මෙලානියාය. සටන් විරාමය ක්රියාත්මක වීමත් සමග රුසියාවේත, යුක්රේනයේත්, හමුදා නොවන, සිවිල් නායකයන් කණ්ඩායම් දෙකක්, ඔලෙෂ්කි නගරයට යෑමට නියමිතය. ඔවුන් මානුෂීය ආධාර රැගෙන යනු ඇත. එපමණක් නොව ඔවුන්, නගර වැසියන්ගේ ආරක්ෂාව ගැන සොයා බලනු ඇත.
එපමණක් නොව ඔවුන් රුසියන් බස කතා කරන රුසියාවට පක්ෂ නගර වැසියන්ට රුසියාවේ ආරක්ෂිත ප්රදේශවලට යෑමටත්, යුක්රේන රජයට පක්ෂපාතී නගර වැසියන්ට ආරක්ෂිතව යුක්රේනයේ ඔවුන් කැමති ඕනෑම ස්ථානයකට රැගෙන යෑමටත් ප්රවාහන පහසුකම් හිමිවනු ඇත.
'තම මැදිහත්වීම නොතිබෙන්නට, ඔලෙෂ්කි නගරයට මානුෂීය ආධාර රැගෙන ඒමට හෝ එහි සිටින දරුවන් සහ වැඩිහිටියන් නගරයෙන් ඉවත් කර ගැනීමට කිසිසේත්ම ඉඩක් ලැබෙන්නේ නැහැ' යැයි මෙලානියා බෙහොම නිහතමානීව පවසා ඇත.



