හන්ටා වයිරසය

‘එම්.වී. හොන්ඩියුස්’ නමැති සුඛෝපබෝගී සංචාරක නෞකාවේ හන්ටා වයිරස ව්යාප්තිය මේ දිනවල විදෙස් මාධ්යවල ප්රමුඛ පුවතකි. මිටර් 107 ක් දිග ‘එම්.වී. හොන්ඩියුස්’ නෙදර්ලන්තයේ සංචාරක නෞකාවකි.
මගීන් 170 දෙනකුට මෙහි ඉඩ ඇත. නැවේ කාර්ය මණ්ඩලය 57 කි. මඟ පෙන්වන සහායකයන් ගණන 13 කි. ඊට අමතරව, එක් වෛද්යවරයෙක් ද නැවට අනුයුක්තව සිටී.
ඉකුත් අප්රේල් 1 වැනිදා මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 147 දෙනකු සමග ආජන්ටිනාවේ සිට අප්රිකාව බලා ‘එම්.වී. හොන්ඩියුස්’ නෞකාව යාත්රා කරන්න විය.
නෙදර්ලන්ත ජාතික වැඩිහිටි යුවළක් හදිසියේ දරුණු ලෙස රෝගී වූහ. ප්රතිකාර ලබා දෙන අතරේ මේ යුවළ ජීවිතක්ෂයට පත්වූහ. දරුණු ලෙස රෝගී වූ බ්රිතාන්ය ජාතිකයකු ගුවන් මගින් දකුණු අප්රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර රෝහලකට රැගෙන ගියේය. නැවේ සිටි තවත් බොහෝ පිරිසක් රෝග ලක්ෂණ පෙන්නුම් කළහ.
ලෝක සෞඛ්ය සංවිධානයේ අවධානය ‘එම්.වී. හොන්ඩියුස්’ කෙරෙහි යොමු විය. ‘එම්.වී. හොන්ඩියුස්’ නෞකාව මුහුද මැද හුදෙකලා කෙරුණි. නෞකාවේ සිටි වැඩි දෙනා යුරෝපීය රටවල සංචාරකයන්ය. ඊට අමතරව, ඉන්දියානුවන් දෙදෙනකු ද නෞකාවේ සිටි බව පැවැසෙයි.
නෞකාව, කැනේරි දූපත් බලා ගිය පසු, නෙදර්ලන්ත බලධාරීන් මැදිහත් වී කුඩා ගුවන් යානා භාවිතයට ගනිමින් ආසාදිත සියලු දෙනා නෙදර්ලන්තය ඇතුළු සෙසු යුරෝපා රටවලටත් කැනඩාවටත් යැවීම සිදුවිය. ඒ ඒ රටවලදී ඔවුන් හුදෙකලා කරමින් අවශ්ය ප්රතිකාර දීම ඇරඹිණි.
‘එම්.වී. හොන්ඩියුස්’ නෞකාවේ පැතිරෙන්න වූයේ හන්ටා වයිරස ප්රභේදයකි. හන්ටා යනු වයිරස පවුලකි. කොවිඩ් 19 කොරෝනා වයිරසය මෙන් නොව, සුලමුල කුමක්දැයි අප දන්නා වයිරසයකි.
දකුණු කොරියාවේ හන්ටා ගංගාව ආශ්රිතව, 1978 දී පළමු ආසාදිතයන් හමුවිය. ගංගාව ආශ්රිත මීයන්ගේ සිරුරුවලින් වයිරසය හමුවුණු බැවින්, හන්ටා යනුවෙන් එය නම් කෙරුණි.
ලෝක සෞඛ්ය සංවිධානයට අනුව හන්ටා වර්ග 20 ක් පමණ මේ වනවිට හොයාගෙන ඇත. මේවා ප්රධාන කොටස් දෙකකි. ඒ, පැරැණි ලෝකයේ හන්ටා වයිරස සහ අලුත් ලෝකයේ හැන්ටා වයිරස ආදී වශයෙනි.
පැරැණි ලෝකයේ හන්ටා වයිරස අතරට අයත් වෙන්නේ, ආසියාව සහ යුරෝපය වගේ රටවල්වලින් වාර්තා වන හන්ටා වයිරස් ප්රභේදයන්ය. අලුත් ලෝකයේ හන්ටා වයිරස යනු ඇමෙරිකානු මහද්වීපයෙන් වාර්තා වන හන්ටා වයිරස ප්රභේදයන්ය.
හන්ටා වයිරසවල ප්රධානම වාහකයා මීයන්ය. ඒත්, වයිරසය අපට බෝ වන්නේ, මීයන් සපා කෑමෙන් පමණක්ම නොවෙයි. වයිරසය ඇති මීයන්ගේ මළ මුත්ර හරහා වයිරසය අපට මෙය බෝ වෙයි. පැරැණි නිවාසවල, ගබඩා කාමරවල දූවිලි සමග වියලුණු මී බෙටි සහ මුත්ර කුඩු දුවිලි වශයෙන් අපගේ ශ්වසන පද්ධතියට ඇතුළු විය හැක. ඒ අනුව බලද්දී, වයිරසය වාතයෙන් ද ව්යාප්ත වෙයි.
වෛද්යවරුන්ට අනුව, හන්ටා වයිරසය ගැන බිය විය යුතු නැත. ඒත්, ‘එම්.වී. හොන්ඩියුස්’ සිද්ධිය තරමක් බරපතල එකකි. නෞකාවේ ව්යාප්ත වූ බවට හඳුනා ගැණුනේ අන්දීස් හන්ටා වයිරස ප්රභේදයයි. මෙහි ඇති විශේෂත්වය මෙය මීයන්ගෙන් මනුෂ්යයන්ට බෝ වුණු පසු, මනුෂ්යයන් අතරේ හෙම්බිරිස්සාවක් ලෙස ව්යාප්ත වීමය.
හන්ටා වයිරසයට ප්රතිකර්මයක් නොමැත. තද උණ, හිසරදය ආදිය රෝග ලක්ෂණ වෙයි. රෝගය උත්සන්න වෙද්දී ශ්වසන පද්ධතිය, වකුගඩු ආදිය අඩපණ කරයි. මරණ සිදුවන්නේ එවිටය. පිරිසුදුව සිටිනවා නම්, හොඳ සෞඛ්ය පුරුදු අනුගමනය කරනවා නම් හන්ටා වයිරසයෙන් පමණක් නොව, ඕනෑම මාරක වයිරසයකින් ආරක්ෂා විය හැක.

