අලුත් බැක්ටීරියාවෙක්
පෘථිවියේ දකින්න නොමැති ආකාරයේ ජීවියෙක් අභ්‍යවකාශයෙන් හමුවීමේ පුවතක් පසුගිය දා ලොව කැලඹුවේය. මේ ජීවියා පියවි ඇසට නොපෙනන බැක්ටීරියාවෙකි. පෘථිවියේ දකින්න නොලැබෙන විදියේ නව බැක්ටීරියාවෙකි.
මේ බැක්ටීියාව හමුවී ඇත්තේ චීන විද්‍යාඥයන්ටය. ඒ, චීනය පෘථිවි කක්ෂයේ එකලැස් කරමින් ඉදිකර ඇති අභ්‍යවකාශ නැවතුම්පොළෙනි. චීනය ඔවුන්ටම කියා නිපදවා ඇති මෙම අභ්‍යවකාශ නැවතුම්පොළ හැඳින්වෙන්නේ ‘ටියැංගොන්’ යන නමිනි. චීන විද්‍යාඥයන්, නව බැක්ටීරියාව නම් කර ඇත්තේ ‘නියාලියා ටියැංගොන්ජෙනිස්’ යන නමිනි.
උඩු ගුවනේ ඇති ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවතුම්පොළ ඇතුළත බිත්තිවලින් ලබා ගත් සාම්පල පෘථිවියට රැගෙන ඒමෙන් පසු, ෂෙන්ෂූ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ජෛවතාක්ෂණ පර්යේෂණාගාරයේ දී චීන විද්‍යාඥයන් විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබුණි. එහිදී, ආචාර්ය ජුන්සියා යුවාන් ප්‍රමුඛ විද්‍යාඥ කණ්ඩායමට නව බැක්ටීරියාව සොයා ගත් බව පැවැසෙයි.
‘නියාලියා ටියැංගොන්ජෙනිස්’ බැක්ටීරියාව සුවිශේෂී වන්නේ, එය අභ්‍යවකාශයේ, ශුන්‍ය ගුරුත්වයේ, අභ්‍යවකාශයේ විකිරණ මැද ජීවත් වීමට හැකි වීමය. ම් බැක්ටීරියාව අභ්‍යවකාශයෙන් හමුවුවත්, එය පිටසක්වළ බැක්ටීරියාවක් නම් නොවෙයි. මේ බැක්ටීරියාව පෘථිවියේ පස්වල දකින්න ලැබේ. චීන විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට මෙම එම බැක්ටීරියා චීන ගගනගාමීන් සමඟ අභ්‍යවකාශ නැවැතුම්පොළට යන්නට ඇත. අභ්‍යවකාශයේ දී එය විකෘතිකරණයට ලක් වී නව බැක්ටීරියාවක් බවට පත් වන්නට ඇත.
චීන විද්‍යාඥයන් දැන් ‘නියාලියා ටියැංගොන්ජෙනිස්’ බැක්ටීරියාව අධ්‍යයනය කරන්නේ, අභ්‍යවකාශයේ පවා දිවි රැක ගනිමින් ජීවත් විය හැකි බැක්ටීරියාවක්, මනුෂ්‍ය අපට කුමන ආකාරයේ බලපෑමක් කරාවිදැයි යන්න සම්බන්ධයෙනි. පස්වල සිටින මෙවැනි බැක්ටීරියා මනුෂ්‍ය අපට අනතුරක් නොකරන නමුත් ‘නියාලියා ටියැංගොන්ජෙනිස්’ගෙන් මනුෂ්‍ය අපට තර්ජනයක් වීමට ඉඩ ඇතැයි චීන විද්‍යාඥයෝ පෙන්වා දෙති.