වැස්ස වැඩිම ගම

ඉන්දියාවේ ඊසානදිග ප්‍රදේශයේ පිහිටි මේඝාලය (Meghalaya) ප්‍රාන්තයේ නැගෙනහිර කාසි කඳුකර (Khasi Hills) දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෝසින්රාම් (Mawsynram) ගම්මානය, ලොව වැඩිම වාර්ෂික වර්ෂාපතනයක් ලබන ප්‍රදේශය ලෙස ගිනස් ලෝක වාර්තාවට ඇතුළත් වී තිබේ.
මෙය දශක ගණනාවක් තිස්සේම කාලගුණ විද්‍යාඥයින්ගේ හා පරිසරවේදීන්ගේ අවධානයට ලක් වූ සුවිශේෂී ස්ථානයක් බවට පත්ව ඇති අතර, මෝසින්රාම් ගම්මානයේ පදිංචිකරුවන් දශක ගණනාවක් තිස්සේ මෙම අතිශය අධික වර්ෂාපතනයට අනුවර්තනය වී ජීවත් වේ.ලොව පුරා සිටින කාලගුණ විද්‍යාඥයින් සහ පර්යේෂකයන් මෙම අද්විතීය කාලගුණික රටාව අධ්‍යයනය කරති.
මෙම ගම්මානයට වාර්ෂිකව ලැබෙන සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර් 11,872 ක් වන අතර, එය ලෝකයේ වෙනත් ඕනෑම ප්‍රදේශයකට වඩා බෙහෙවින් වැඩි අගයකි. ඓතිහාසිකව වැදගත් වන පරිදි, 1985 වසරේදී වාර්තාගත මිලිමීටර් 26,000 ක අතිවිශාල වර්ෂාපතනයක් ලැබීම මෙහි සුවිශේෂත්වය තවදුරටත් තහවුරු කරයි.
විශේෂයෙන් නිරිතදිග මෝසම් කාලය තුළ, එනම් ජුනි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ මෝසින්රාම් හට අධික වර්ෂාවක් ලැබෙන අතර, වසරේ වැඩි කාලයක් පුරා මෙම ප්‍රදේශය තෙත් හා වලාකුළු සහිත කාලගුණයක් දක්නට ලැබේ. මෝසින්රාම් පිහිටා ඇත්තේ ඉන්දියාවේ ඊසානදිග දේශසීමාවේ, බංග්ලාදේශයට ආසන්නව පිහිටි මේඝාලය ප්‍රාන්තයේ, අතිශය සුන්දර කාසි කඳුකරයේ ගැඹුරු නිම්නයකය. මෙහි අධික වර්ෂාපතනයට ප්‍රධාන භූගෝලීය හේතු කිහිපයක් බලපායි. මෝසින්රාම් පිහිටා ඇත්තේ බෙංගාල බොක්කෙන් හමා එන උණුසුම්, තෙතමනය සහිත මෝසම් සුළංවලට මුහුණලා ඇති කාසි කඳුකරයේ සුළං මුහුණත පැත්තේය.
මෙම සුළං කඳුකරයට මුහුණදෙන විට ඉහළට නැඟීමට බලකෙරෙන අතර, එහිදී සිසිල් වී ඝනීභවනය වීමෙන් දැඩි හා අඛණ්ඩ වර්ෂාවක් ඇති වේ.තවද කාසි කඳුකරය මෝසම් සුළං කොටු කර තබා ගැනීමට හැකි ලෙස පිහිටා තිබීම නිසා මෝසින්රාම් ප්‍රදේශයේ තෙතමන සාන්ද්‍රණය වැඩි කිරීමට මූලික හේතුක් වී ඇත. මෙම සුවිශේෂී භූගෝලීය ලක්ෂණ මෝසම් සුළංවල තෙතමනය උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින් අඛණ්ඩව හා අධික වර්ෂාපතනයක් ඇති කරන අතර, මෙය ලෝකයේ වෙනත් කිසිදු ප්‍රදේශයකට නොලැබෙන සුවිශේෂී තත්ත්වයකි.
සශිනි අප්සරා වීරසූරිය

