දිට්වා කළ හදිය



පිහිටීම අනුව‍, ඉන්දීය සාගරයේ ඉන්දීය උපමහාද්වීපයේ ගිනිකොන දෙසින්, සමකයට ආසන්නව, පිහිටි දූපතක් වන ශ්‍රී ලංකාව, ස්වාභාවික ආපදාවලින් තොර තැනකි. භූතැටි මායිමකට ඉහළින් හෝ ආසන්නයෙට් හෝ පිහිටා නැති බැවින් භූමිකම්පා තර්ජන නැත. ගිනි කඳු තර්ජන නැත. මෝසම් කාලවලදී, මහ වැසි, සැඬ සුළං, නායයෑම්, ජල ගැලීම් වාර්තා වෙයි. එව ස්වභාවිකය. කාලගුණ විද්‍යාඥයන්ට අනුව, ශ්‍රී ලංකාව සමකයට ආසන්නව පිහිටන බැවින්, සුළි කුණාටුවලින් එල්ල වන බලපෑම ඉතා අඩුය. එහෙත්, ‘දිට්වා’ ඒ සියල්ල වෙනස් කළේය. ‘දිට්වා’ සමඟ සමකයට ආසන්නයේ නිරන්තර කලාපීය තවත් සුළි කුණාටු දෙකක් ද එකම වේලාවේ හටගත්තේය. මෙය කාලගුණ විද්‍යාඥයන් මවිත කළ දෙයකි. මෙය එසේ මෙසේ සංසිද්ධියක් නොවන බවත්, මෙය විපරිත කාලගුණ පෙරැළි සම්බන්ධයෙන් පෙර නිමිත්තක් බවත්, ‘දිට්වා’ වැනි බිහිසුණු සුළි කුණාටුවලට ඉදිරියේ දී අපට මුහුණ දීමට සිදුවනු ඇති බවත් විද්‍යාඥයන්ගේ අදහසය.

‘දිට්වා’ සුළි කුණාටුව, මහා විනාශයක් ඇති කළේ එය රට තුළ වර්ධනය වී, කැරැකෙමින් උතුරු දෙසින් ඉන්දියාව බලා යද්දීය. සමකය ආශ්‍රිත සුළි කුණාටු හට ගැනීම ඉතා අඩු මට්ටමක පවතින්නේ නම්, දිට්වා වැනි ප්‍රබල විනාශකාරී සුළි කුණාටුවක් නිර්මාණය වූයේ කෙසේද යන්න මෙය බොහෝ දෙනාට ඇති ප්‍රශ්නයකි. කාලගුණ විද්‍යාඥයන්ගේ වර්ග කිරීම්වලට අනුව, ‘දිට්වා’ සුළි කුණාටුව විපරිත කාලගුණ පෙරැළියකි. මේ වනවිට ඉතා ප්‍රචණ්ඩ ආකාරයේ විපරිත කාලගුණ පෙරැළිවලින් ලෝකය බැට කයි. ඊට හේතුව දිනෙන් දින ගෝලීය උණුසුම ඉහළ යෑමය. ගෝලීය උණුසුම ඉහළ යෑමට හේතුව මිනිස් ක්‍රියාකාරකම්ය. ගෝලීය උණුසුම ඉහළ යද්දී, එය ගෝලීය කාලගුණ රටා අවුල් ජාලයක් කිරීමට සමත් වී අවසන්ය.

සමකය යනු පෘථිවිය මැදින් ඒ වටා යන මනඃකල්පිත රේඛාවය. සමකය පෘථිවියේ උත්තර ධ්‍රැවය සහ දක්ෂිණ ධ්‍රැවය අතර හරියටම මැදින් පිහිටයි. එය පෘථිවියෙහි පළල්ම හරස් කොටස ලෙස මෙය සැලකෙයි. මෙම මනඃකල්පිත රේඛාව, පෘථිවි ගෝලය උතුරු අර්ධගෝලය සහ දකුණු අර්ධගෝලය ලෙස හරියටම සමාන කොටස් දෙකකට බෙදයි. සමකය ආශ්‍රිත ප්‍රදේශවලට සූර්යයාගෙන් ලැබෙන ආලෝකය වසර පුරාම වඩාත් සෘජුව ලැබෙන බැවින්, මෙම සමකය ආශ්‍රිත කලාපයේ රටවල කාලගුණය උණුසුම්ය.

සුළි කුණාටු හට ගැනීම සඳහා අවශ්‍ය වන මූලිකම සාධකය වන්නේ කොරියෝලිස් බලය යි. කොරියෝලිස් බලය ඇති වන්නේ පෘථිවියේ භ්‍රමණය හේතුවෙනි. සමකය අසලදී කොරියෝලිස් බලය ශුන්‍යයට (බිංදුවට) ආසන්න වෙයි. සමකය අසල සුළි කුණාටු හටගන්නේ ඉතා අඩුවෙන් හෝ කලාතුරකින් වන්නේ මේ නිසාය. සමකය අසල සුළි කුණාටුවක් ඇතිවීමට සහ එය වර්ධනය වීමට අවශ්‍ය භ්‍රමණය (කැරකැවීම) ඇති කිරීමට තරම් ප්‍රමාණවත් කොරියෝලිස් බලයක් සමකයේ නොමැත. සමකයට ආසන්නව උණුසුම් මුහුදු මතුපිට උෂ්ණත්වයක් සහ අඩු සුළං විචලනයක් තිබුණ ද කොරියෝලිස් බලය නොමැතිකම නිසා සුළි කුණාටු හට ගැනීමට බාධා එල්ල වෙයි. එපමණක් නොවෙයි, සුළි කුණාටුවක් සමකය දෙසට ගමන් කළහොත්, කොරියෝලිස් බලය අඩු වීම නිසා එහි භ්‍රමණය දුර්වල වී කුණාටුව විසුරුවා හැරීමට පවා හේතු වෙයි.

මෙම සුළි කුණාටුවට ‘දිට්වා’ යන නම, යෙදීම සිදුවූයේ යේමනයේ සෝකෝත්‍රා වෙරළේ ඇති ‘දෙට්වා’ කලපුව සිහිකරමින් යැයි කාලගුණ විද්‍යාඥයෝ පැහැදිලි කරති. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය අනුමත කරන ලද විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ සුළි කුණාටුවලට නම් තැබීම සිදු වෙයි. එය හිතුමතේ සිදුවන්නක් නොවෙයි. මෙහිදී මූලික අරමුණ වන්නේ, කාලගුණ විද්‍යාත්මක සංකීර්ණ නාමකරණයන් වෙනුවට, පොදු ජනතාවට සහ මාධ්‍යයට අවදානම් තත්ත්වයන් පහසුවෙන් සන්නිවේදනය කිරීමට හැකිවීමය. එමගින් අනතුරු ඇඟවීම් පිළිබඳ ව්‍යාකූලත්වය අවම වන අතර, ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා ඉක්මන් තීරණ ගැනීමට ජනතාවට හැකි වෙයි. සුළි කුණාටුවලට නම් තැබීමේ වගකීම එම කුණාටු ඇතිවන සාගර කලාපයට වගකිව යුතු කලාපීය විශේෂිත කාලගුණ විද්‍යා මධ්‍යස්ථාන වෙත පැවැරී ඇත. නම් තැබීම සඳහා, කලාපීය සාමාජික රටවල් 13 ක් (ශ්‍රී ලංකාව ද ඇතුළුව, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය, තායිලන්තය සහ යේමනය) එක්ව කටයුතු කරයි. සෑම සාමාජික රටක්ම යෝජනා කරන ලද නම් ඇතුළත් ලැයිස්තුවක් සකස් කරනු ලබන අතර, එම නම් සියල්ල එකතු කර අනුපිළිවෙළින් සකස් කරන ලද නාම ලේඛනයක් නිර්මාණ වී ඇත. පිළිවෙළින්, සුළි කුණාටු හටගනිද්දී, මෙම නාම ලේඛනයට අදාළව නම් තැබීම සිදුවෙයි. දැනට භාවිතයට ගැනෙන්නේ 2020 දී සම්පාදනය කරන ලද නාම ලේඛනයයි.

අවපීඩන කලාපයක් නිවර්තන සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වී, එහි සුළං වේගය පැයට කිලෝමීටර් 61 ඉක්මවා ගිය විට, නාම ලේඛනයේ පිළිවෙළින් ඊළඟට ඇති නම හටගන්නා එම සුළි කුණාටුවට යොදනු ලැබේ. නම් තෝරා ගැනීමේදී දැඩි නීති රීති අනුගමනය කෙරේ. නම, කෙටි සහ පහසුවෙන් උච්චාරණය කළ හැකි විය යුතු අතර, කිසිදු දේශපාලන, ආගමික, සංස්කෘතික හෝ ස්ත්‍රී-පුරුෂ භාවය මත පදනම් කාටවත් නින්දාවක්, අපහාසයක් සිදු නොවන ආකාරයේ එකක් විය යුතුය. එපමණක් නොව, යම් සුළි කුණාටුවක් මහා විනාශයක් හෝ දැවැන්ත ජීවිත හානි සිදු කළහොත්, එම නම නැවත කිසිදා භාවිතා නොකිරීමට තීරණය කරනු ලැබේ. මෙම ක්‍රියාවලිය නම ඉවත් කිරීම ලෙස හැඳින්වේ. මෙලෙස ඉවත් කරන ලද නමක් වෙනුවට නව නමක් යෝජනා කිරීමට අදාළ සාමාජික රටට අවස්ථාව ලැබේ. මෙමගින් ජනතාවට ඛේදජනක සිදුවීම් සිහිපත් වීම වැළැක්වීමට සහ අනාගත අනතුරු ඇඟවීම්වල වැදගත්කම ආරක්ෂා කිරීමට උපකාරී වෙයි.

ස්තුතිය - ලෝක කාලගුණ විද්‍යා සංවිධානය


RECOMMEND POSTS