සම්බෝලයන්ගේ රහස

ඔබේ නිවසේ සම්බෝලයෙක් සිටිනවාද? ‘සම්බෝලයා’ යනුවෙන් අපි ආදරයෙන් කතා කරන්නේ තැඹිලි පාට ලොම් ඇති බළල් සුරතලුන්ටය. ඉංග්‍රීසියෙන් මෙවැනි බළල් සුරතලුන් හැඳින්වෙන්නේ ‘ජින්ජර් කැට්ස්’ යනුවෙනි.
සම්බෝලයන්ට ඔවුන්ගේ මේ ලස්සන තැඹිලි පැහැය හිමිවුණේ කෙසේදැයි යන්න විද්‍යාඥයන්ට ප්‍රහේලිකාවක් එසේත් නැතිනම් අබිරහසක් වී තිබුණි. ඒත් දැන් එම අබිරහසට විසඳුම් සොයා ගැනීමට මහද්වීප දෙකක විද්‍යාඥයෝ සමත් වී සිටිති.
අබිරහස විසඳා ගැනීමට සමත් වී සිටින්නේ, ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ සැටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් සහ ජපානයේ කියූෂි විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායම් දෙකක් එක් වෙමිනි.
සාමාන්‍යයෙන් බළලුන්ගේ සම, ලොම්වල පැහැය, ඇස්වල පැහැය ආදිය තීරණය කරන්නේ ඔවුන්ගේ සිරුරුවල ඇති එක ජානයක් මගිනි. මෙම ජානය, විද්‍යාඥයන් නම් කර ඇත්තේ ARHGAP36 g යන නමිනි.
ජාන නිර්මාණය වන්නේ ඩී.එන්.ඒ. කොටස්වලිනි. බළලුන්ගේ සෛල නිසිලෙස ක්‍රියාකාරී වීමට උපදෙස් යැවීම සිදු කරන්නේ මෙම කොටස්ය. සෑම ජීවියකුගේම සෛල ක්‍රියාකාරී වීමට උපදෙස් ලබා දීම සිදු කරන්නේ ඩී.එන්.ඒ. කොටස්වලිනි.
තැඹිලි ලොම් නැති සහ තැඹිලි ලොම් ඇති බළල් සුරතලුන් සම්බන්ධ කර ගනිමින්, ඔවුන්ගෙන් ජාන ලබා ගෙන ඒවා විශ්ලේෂණය කිරීමට විද්‍යාඥයෝ කටයුතු කළහ.
එහිදී තැඹිලි ලොම් සම්බෝලයන්ගේ සිරුරුවල ARHGAP36 ජානයේ එක් කොටසක් අඩු බව, විද්‍යාඥයන්ට තහවුරු විය. සම්බෝලයන්ට ඔවුන්ගේ තැඹිලි පෙනුම ලැබී ඇත්තේ මෙම අඩුව නිසාය. සරලව කීවොත් මෙය එක්තරා ආකාරයක ජාන විකෘති තත්වයකි. මේ විකෘතිය නොතිබුණා නම්, අපට සම්බෝලයන් දකින්න නොලැබෙනු ඇත.
පර්යේෂණය සඳහා සම්බෝලයන් ද ඇතුළු නානා වර්ණවල බළල් සුරතලුන් 300 කට වැඩි දෙනකු යොදා ගත් බව පැවැසෙයි. එසේ වූයේ එම බළල් සුරතලුන්ගේ හිමිකරුවන්ගේ ද විශේෂ අවසරය මතය.

