AI ගුවන් සේවිකාව

මිනිසකු මෙන් හිසක්, සිරුරක් සහ අතපය ඇති මානවරූපී රොබෝ (Humanoid Robo) ගුවන් සේවිකාවක හඳුන්වා දීමට රුසියාව පියවරගෙන ඇත. මෙම රොබෝ ගුවන් සේවිකාව හමුවීමට නම්, ඔබ රුසියාවේ අඩු වියදම් පෝබෙඩා ගුවන් සේවයේ (Pobeda Airlines) ගුවන් යානයකට ගොඩවිය යුතුය.
මෙම රොබෝ නම් කර ඇත්තේ වොලොද්යා (Volodya) යනුවෙනි. තවමත් පර්යේෂණ මට්ටමේ පසුවන වොලොද්යා පණ ගැන්වෙන්නේ කෘත්රිම බුද්ධි තාක්ෂණයෙනි. මගීන් පිළිගැනීම, ගුවන් යානය ගුවන්ගත වීමට පෙර, අසුන් ගෙන සිටින මගීන්ට ආරක්ෂිත උපදෙස් (Safety Briefing) ලබා දීම වොලොද්යාට කළ හැකිය. ඒ,
ගුවන් සේවිකාවන්ට සහාය වෙමින්, ගුවන් සේවිකාවන් අනුකරණය කරමිණි. රුසියාවේ උලියානොව්ස්ක් (Ulyanovsk) සිට මොස්කව් (Moscow) දක්වා වූ දේශීය ගුවන් ගමනකදී වොලොද්යා පළමු වරට අත්හදා බැලීම පසුගිය දා සිදුවිය.
වොලොද්යා රුසියන් මෙන්ම චීන තාක්ෂණයෙන් ද නිර්මාණය වූ රොබෝවෙකි. චීනයේ යුනිට්රී (Unitree Robotics) රොබෝ සමාගම සහ රුසියාවේ රෙඩ් සොෆ්ට් (Red Soft) මෘදුකාංග සමාගම එක් වී රොබෝ නිර්මාණය කළේ යැයි පැවැසෙයි.
The Sun ඇසුරිනි

