සඳ බලන්න යන ගමන

ඇමෙරිකා නාසා ආයතනයේ, ‘ආටිමිස් 2’ මෙහෙයුම, ඊයේ (2) ඇමෙරිකාවේ වේලාවෙන් සවස 6.35 ට (ශ්‍රී ලංකාවේ වේලාවෙන් පාන්දර 4.05 ට), ෆ්ලොරීඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ආරම්භ විය. ගගනගාමීහු සිවු දෙනෙක් ‘ආටිමිස් 2’ මෙහෙයුමට සම්බන්ධ වෙති. ඔවුන් සඳ බලා යන්නේ ‘ඔරායන්’ නමැති ගගන කැප්සියුලයෙනි. සඳට ගොස් ආපසු පැමිණෙන මෙම මෙහෙයුමට ගතවන කාලය දින 10 කි.
ඇමෙරිකා ඉරාන යුද ගැටුම් මැද, සුළු මොහොතකට, අප කාගේත් අවධානය වෙනතකට යොමු කිරීමට ‘ආටිමිස් 2’ ට හැකි විය. ‘ඔරායන්’ ගගන කැප්සියුලය රැගත් ස්පේස් ලොන්ච් සිස්ටම්ස් රොකට්ටුව ෆ්ලොරීඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වනු දැක ගැනීමට සිය ගණනක් ලොකු කුඩා ඇමෙරිකානුවෝ රැස්ව සිටියහ. ලෝකයේ ප්‍රධාන මාධ්‍ය සෑම එකක්ම පාහේ සජීවීව රොකට්ටුවේ ගුවන්ගත වීම විකාශය කළේය.
‘ආටිමිස් 2’යනු වසර 57 කට පසු, යළි සඳට යෑමේ නාසා චන්ද්‍ර මෙහෙයුමය. මෙය පෙරහුරු මෙහෙයුමකි. ‘ඔරායන්’ ගගන කැප්සියුලයේ පද්ධති ක්‍රියා කරන ආකාරය පරීක්ෂා කිරීම මෙහෙයුමේ ප්‍රධාන අරමුණය. ‘ඔරායන්’ ගගන කැප්සියුලය, සඳට ගොඩබාන්නේ නැත. එය ගගනගාමීන් රැගෙන සඳට ගොස්, සඳ වටා කැරකී ආපසු පෘථිවියට ඒමට නියමිතය.‘ඔරායන්’ ගගන කැප්සියුලය සම්බන්ධ කළ ස්පේස් ලොන්ච් සිස්ටම්ස් රොකට්ටුව වේගයෙන් ඉහළට ඇඳී යෑම සිදුවූයේ නරඹන්නන්ගේත්, නාසා ආයතනයේ තාක්ෂණශිල්පීන්, ඉන්ජිනේරුවන් ආදී මෙහෙයුමට සම්බන්ධ සියලු දෙනාගේ ඔල්වරසන් හඬ මැදය. සියල්ල පෙර සැලැසුම් කළ ආකාරයට නිවැරදිව සිදුවිය. ඉහළට යද්දී, අදියරෙන් අදියර, රොකට්ටුව් කොටස් පහළ සාගරයට පතිත විය. ඒවා යළි භාවිතයට ගැනෙනු ඇත. එම කොටස් එකතු කර ගැනීම සිදුවන්නේ ඇමෙරිකන් නාවික හමුදාවේ සහාය ඇතිවය.
මෙහෙයුමට සම්බන්ධ ගගනගාමීන් සිවුදෙනාගෙන් නාසා ගගනගාමීන් සිටින්නේ තිදෙනකු පමණි. සිවුවැන්නා නාසා ආයතනය සමඟ සමීපව කටයුතු කරන කැනඩා අභ්‍යවකාශ ආයතනයේ ගගනගාමියෙකි. ඔහු ජෙරමි හැන්සන්ය. නාසා ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයකු කාන්තාවක වීම විශේෂත්වයකි. ඇය ක්‍රිස්ටිනා හැමොක් කොච්ය. කාන්තාවක සඳ බලා යන පළමු අවස්ථාව මෙයයි. ‘ආටිමිස් 2’ මෙහෙයුමට නායකත්වය දෙන්නේ නාසා ගගනගාමී රීඩ් වයිස්මන්ය. කැප්සියුලයේ නියමුවා ලෙස කටයුතු කරන්නේ වික්ටර් ග්ලෝවර්ය. මොවුන් දෙදෙනා ද පළපුරුදු ගගනගාමීන්ය. වික්ටර් ග්ලෝවර් කළු ජාතිකයෙකි. ඒ අනුව සඳ බලා යන පළමු කළු ජාතිකයා ගගනගාමියා ග්ලෝවර්ය. මෙහෙයුමට නායකත්වය දෙන, රීඩ් වයිස්මන් යොවුන් දියණියන් දෙදෙනකුගේ පියෙකි. 2020 වසරේ සිදුවුණු රිය අනතුරකින් රීඩ් වයිස්මන්ග් බිරිඳ දිවියෙන් සමුගෙන ඇත.
ගගනගාමීන් සිවුදෙනා රැගත් ‘ඔරායන්’ කැප්සියුලය, සඳ වටා යද්දී, සඳේ අඳුරු පැත්ත නිරීක්ෂණය කිරීමට ගගනගාමීන්ට හැකිවනු ඇත. මෙම කාල සීමාවේ ගගනගමීන්ට පෘථිවිය සමග සම්බන්ධ වීමට නොහැකි වනු ඇති අතර, ඔවුන් මිනිත්තු කීපයකට හුදෙකලා වනු ඇත. සඳේ ‘අඳුරු පැත්ත’ ලෙස හැඳින්වෙන්නේ පෘථිවියට කිසිදාක දර්ශනය නොවන එහි ඈතින් පිහිටා ඇති කාලාපයයි. සඳ තමා වටා කැරකීමට සහ පෘථිවිය වටා යාමට එකම කාලයක් ගන්නා බැවින්, නිරන්තරයෙන් එහි එකම පැත්තක් පෘථිවිය දෙසට හැරී පවතින අතර අනෙක් පැත්ත සැඟවී පවතී. මෙම පැත්ත ‘අඳුරු’ ලෙස හැඳින්වූවත්, එයටද පෘථිවියට පෙනෙන පැත්තට මෙන්ම හිරු එළිය ලැබෙන අතර, අභ්‍යවකාශ යානා මගින් ලබාගත් තොරතුරු වලට අනුව එම ප්‍රදේශය අධික ආවාට සහ රළු පර්වත වලින් ගහණ ප්‍රදේශයකි.
රොකට්ටුවෙන් මිදුණු ‘ඔරායන්’ කැප්සියුලය, පෘථිවි කක්ෂයේ වට කීපයක් කැරැකීමෙන් පසු බූස්ටර් පණ ගන්වා, සඳ බලා යන ගමන ආරම්භ කළේය. තව දින හයකින් ‘ඔරායන්’ කැප්සියුලය සඳට ළං වනු ඇත. කැප්සියුලයට සූර්ය පැනල සවි කර ඇති අතර, කැස්සියුලයට බලය ලැබෙන්නේ සූර්යයාගෙනි. දින 10 ක සාර්ථක මෙහෙයුම අවසානයේ, කැප්සියුලයේ ගගන ගාමීන් රැඳී සිටින කොටස ආපසු පෘථිවියට පතිත වීම සිදුවන්නේ යෝධ පැරෂූට් ආධාරයෙනි. එම කොටස විශේෂ තාප පළිහකින් ආවරණය ඇත. ඒ, ආපසු පෘථිවි වායුගෝලයට ඇතුළු වෙද්දී, ගිනි ගැනීමට ලක් වන බැවින්, එයින් ආරක්ෂා වීමටය. කැප්සියුලයේ ගගනගාමීන් සිටින කොටස සාගරයට පතිත වන අතර, නාසා බලධාරීන් සහ ඇමෙරිකන් නාවික හමුදාව ඔවුන් එනතුරු බලා සිටිනු ඇත.
‘ආටිමිස් 2’ මෙහෙයුම සාර්ථකත්වයෙන් පසු, ‘ආටිමිස් 3’ මෙහෙයුම ආරම්භ වනු ඇත. ඒ, 2035 වසරෙන් පසුවය. එම මෙහෙයුමේ දී වැඩි දියුණු කරන ලද ‘ඔරායන්’ ගගන කැප්සියුලයක් ගගනගාමීන් සිවු දෙනකු සමග සඳට පතිත කරනු ඇත. පළමු වරට කාන්තා ගගනගාමිනියක ද ‘ආටිමිස් 3’ මෙහෙයුමේ දී සඳට පය තැබීමට නියමිතය. පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ තව වසර කීපයකින් විශ්‍රාම යනු ඇත. විශ්‍රාම යෑම යනු එය අතහැර දැමීමය. ඉන්පසු ඉදිරියේ දී සිදුවන අභ්‍යවකාශ ගවේෂණ සිදුවනු ඇත්තේ සඳමතුපිට ඉදි කෙරන නැවතුම්පොළවල සිටය. එම නැවතුම්පොළ ඉදි කිරීම සිදුවනු ඇත්තේ 2055 වසරෙන් පසුවය. එය ඇමෙරිකා නාසා ආයතනයේ මූලිකත්වයෙන් සිදුවනු ඇත.
මීට 57 වසරකට පෙර, පළමුවෙන්ම මිනිසුන් සඳට යැවීම කළේ ද ඇමෙරිකාවේ නාසා ආයතනයයි. 1969 ජූලි 20 ඇපලෝ 11 මෙහෙයුම යටතේ, නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්‍රින් සඳ මත පා තැබූ ප්‍රථම මිනිසුන් බවට පත් වූහ. ඉන් අනතුරුව, 1972 දක්වා ඇපලෝ මෙහෙයුම් මාලාවක් ක්‍රියාත්මක විය. තවත් ගගනගාමීහු 12 දෙනෙක් වරින් වර සඳට පය තැබූහ. ඇපලෝ මෙන්ම ආටිමිස් ද ග්‍රීක දේව පුරාණයට සම්බන්ධ චරිත වෙයි. ග්‍රීක දේවකතාවලට අනුව, ඇපලෝ සූර්යයාට අධිපති දෙවියාය. සූර්යයාට අධිපති දෙවියා වුවත්, 1960 සහ 70 දශකවල සඳට ගගනගාමීන් රැගෙන ගිය මෙහෙයුම් ඇපලෝ යනුවෙන් නම් කෙරුණි. ග්‍රීක දේව පුරාණයට අනුව ආටිමිස් යනු ඇපලෝ දෙවියාගේ නිවුන් සොහොයුරියයි. ඇය සඳට අධිපති දෙවඟනය.
ස්තුතිය - නාසා ආයතනයට

