බිම්මල් මිනිසා

සහරා කාන්තාරය අද වැලිවලින් පිරුණු වියළි කර්කශ තැනක් වුවත්, වසර දහස් ගණනකට පෙර අතීතයේ එය සශ්‍රීක වනාන්තරවලින් සහ ගංගාවලින් පිරුණු, වන සතුන්ගෙන් ගහණ හරිත පාරාදීසයක් යැයි විද්‍යාඥයෝ පවසති.
මෙම හරිත සහරාවේ ජීවත් වුණු ප්‍රාග් ඓතිහාසික මිනිසුන් තමන්ගේ අපූරු අත්දැකීම් ලෙන් බිත්ති මත සිතුවම් කර ඇත. එවැනි සිතුවම් අතරින්, විද්‍යාඥයන් මවිතයට පත් කළ එක් ලෙන් සිතුවමක් වන්නේ තසීලිහි මී මැසි මිනිසා (The Bee-Man of Tassili) එසේත් නැත්නම් බිම්මල් යකැදුරා (The Mushroom Shaman) යන සිතුවමය. මිනිස් ශිෂ්ටාචාරවලට, පුරාණ පිටසක්වළ ජීවීන්ගේ බලපෑමක් එල්ල වුණා යැයි විශ්වාස කරන විද්‍යාඥයන්ට අනුව, මේ බිම්මල් මිනිසා ද පිටසක්වළයෙකි.
බිම්මල් මිනිසාගේ ලෙන් සිතුවම හමුවී ඇත්තේ, ඇල්ජීරියාවට අයත් සහරා කාන්තාරයේ ගිනිකොනදිග කොටසේ තසීලි එන් අජර් (Tassili n’Ajjer) නමැති ගල් පර්වත සහිත ප්‍රදේශයේ ඇති ලෙනකිනි. කාල නිර්ණය අනුව, මේ සිතුවම, වසර 9,000කට වඩා පැරණිය. මිනිස් සිරුරක හැඩයක් ලෙන් සිතුවමේ දකින්න ලැබෙන නමුත්, නිරූපණය වන්නේ සාමාන්‍ය මනුෂ්‍යයකු නම් නොවෙයි. සිතුවමේ දකින්න ලැබෙන රූපය බිම්මල්වලින් හැඩ ගැන්වූ එකකි. දෑත්වලින් ද බිම්මල් දරා සිටින බව දකින්න ලැබෙයි.
පුදුමයට කරුණක් නම්, මේ මිනිසාගේ මුහුණ මීමැස්සෙකුගේ මුහුණකට සමාන වීමය. විද්‍යාඥයන් අනුමාන කරන්නේ, මේ ‘මිනිසා’ එදා සමාජයේ සිටි ගුප්ත බලයක් සහිත ආධ්‍යාත්මික නායකයෙකු නැතිනම් යකැදුරෙකු කියාය. සිතුවමේ ඇති බිම්මල් ද සාමාන්‍යයෙන් අප ආහාරයට ගන්නා බිම් මල් නොවෙයි. ඒවා, මිනිස් මොළයට සහ මනසට අමුතුම බලපෑමක් ඇති කළ හැකි, මනස් ක්‍රියාකාරී විශේෂිත ශාක/දිලීර (Psychoactive plants/fungi) විශේෂයක් විය හැකි බව ද පැවැසෙයි.
ප්‍රකට මානව විද්‍යාඥයකු වන ටෙරන්ස් මැකේනා පවසන්නේ, මිනිස් මොළයේ පරිණාමය වේගවත් වීම සහ භාෂාව බිහිවීමට හේතුව පුරාණ මිනිසා මෙවැනි ස්වාභාවික දිලීර (බිම්මල් නැතිනම් හතු) වර්ග ආහාරයට ගැනීම බවය.
ඔහුට අනුව මේ සිතුවම මානව ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයකි. සිතුවමේ සිටින රූපයට මීමැස්සකුගේ මුහුණක් ලැබුණේ ඇයි යන්න විද්‍යාඥයන්ට ප්‍රහේලිකාවකි. පුරාණයේ, මිනිසුන් බිම්මල් වර්ග නරක් නොවී දිගුකාලීනව තබා ගැනීමට මී පැණි භාවිත කළ බවට උපකල්පනයක් පවතී. ඒ අනුව, මී මැස්සා යනු සොබාදහමේ සශ්‍රීකත්වයේ සංකේතය විය හැකිය.
සහරා ලෙන් සිතුවම් යුග කීපයකට බෙදෙයි. මේ බිම්මල් මිනිසාගේ සිතුවම අයත් වන්නේ, වටකුරු හිස් සහිත මිනිසුන්ගේ යුගයට (Round Head Period) ය. මේ යුගයට අයත් සෙසු ලෙන් සිතුවම්වල රූප මිනිසුන්ට වඩා හාත්පසින්ම වෙනස්, අද්භූත හැඩතල ගනී. එම සිතුවම්වලින් නිරූපණය වන්නේ පුරාණ පිටසක්වළයින් (Ancient Aliens) යැයි බොහෝ විද්‍යාඥයන්ගේ පවා අදහස වී ඇත්තේ ඒ නිසාය.

