‘හාටෝ’ 12 ක් බිලිගනී



හොංකොං සහ මැකෝව් පසු පසු කරමින්, ‘හාටෝ’ සුළි කුණාටුව අද (24) දකුණුදිග චීනයට කඩා වැදුණි. සුළි කුණාටුවට හසුවීමෙන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 120 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තාවේ. ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළ පිරිස ලක්ෂයකට ආසන්නය.

‘හාටෝ’ සුළි කුණාටුව මහ වැසි ද සමඟ හොංකොං හරහා හමා ගියේ ඊයේ දිනයේය. ඒ, පැයට කිලෝ මීටර් 17 වේගයකිනි. ‘හාටෝ’ ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් බව කාලගුණ විද්‍යාඥයන් කල්තියා අනතුරු අඟවා තිබුණි. කාර්යාල සහ පාසල් වසා දැමුණි. එසේ අනතුරු අඟවා තිබියදී ද තද සුළං සහ හදිසියේ හටගත් ජල ගැලීම් හේතුවෙන් 120 ක් තුවාල ලැබූහ.

‘හාටෝ’ සුළි කුණාටුව 24 අලුයම මැකෝව් හරහා හමා යන්න විය. අනාරක්ෂික ප්‍රදේශවල විසූ 27,000 ක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ. 24 දෙනකු මියගියේ යැයි වාර්තා වූයේ ග්වන්ඩොන් පළාතෙනි.

මැකෝව් පසු කරමින් සුළි කුණාටුව චීනයට කඩා වැදෙද්දී, එහි ප්‍රබලත්වය යම් තාක් දුරකට අඩු වී තිබුණු බව කාලගුණ විද්‍යාඥයෝ පැවැසූහ. ගස් කඩා වැටීමෙන් මාර්ග අවහිර වුණු අතර, විදුලි බල සැපැයුම්වලට ද බාධා එල්ල විය.

චීන බලධාරීන් කියා සිටියේ ලක්ෂයකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළ බවය. ඔවුන්ට පහසුකම් ලබා දීමටත්, විපතට පත් වූවන්ට සහන සේවා සැපැයීමටත් හමුදාව යෙදවුණැයි ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී./රොයිටර්)


RECOMMEND POSTS