සිරියාවට සාමය ගේනවා
සිරියාවට සාමය උදා කිරීම වෙනුවෙන් තමන් කැපවී කටයුතු කරනවා යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානි, තුර්කිය රිජෙප් තායිප් එර්ඩෙගොන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රතිඥා දුන් බව ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් වෙබ් අඩවිය කියයි.
මේ වනවිට සිරියානු අර්බුදයට පැහැදිලි දේශපාලනික විසඳුම් සෙවීමෙහිලා තමන් මැදිහත් වී කටයුතු කරන බව ද ජනපතිවරු තිදෙනා අවධාරණය කළහ.
සිරියානු රජය සහ විපක්ෂ සටන්කාමීන් අතර සටන් විරාමයක් පවතින්නේ ද මෙම රටවල් තුනේ මැදිහත්වීමෙනි. එම සටන් විරාමය හමුවේ විපතට පත් සිරියානු සිවිල් වැසියන්ට අවශ්‍ය ආධාර ලබා දීම කඩිනමින් සිදුවෙමින් පවතී.
ඉරාන ජනාධිපති රොව්හානි සහ රුසියානු ජනාධිපති පුටින් මේ වනවිට තුර්කියේ අන්කාරා බලා පැමිණ සිටිති. ඒ, සිරියානු අර්බුදයට සාමකාමී විසඳුමක් ලබා දීමේ ප්‍රධාන අරමුණ ඇතිවය.
සිරියාවේ ස්වෛරීත්වයට ගරු කරමින්, එරට සාමය ස්ථාපිත කිරීමට කඩිනමින් කටයුතු කරන බවත්, ඉන්පසු සිරියාවේ නව දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කිරීමට මැදිහත් වෙන බවත් ජනාධිපතිවරු තිදෙන ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියහ.
සිරියානු රජයට එරෙහිව එරට විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් සමඟ එක් වී සටන් වැදුණු අයි.එස්.අයි.එස්. හෙවත් දයේෂ් ත්රස්තවාදීන් මර්දනය කිරීමට හැකිවී ඇත්තේ ද ඉරානය, තුර්කිය සහ රුසියාව මැදිහත්වුණු නිසාය.
(ප්‍රෙස් ටීවී)