ස්ලොවේකියා ජනපති ධුරය කාන්තාවකට



ස්ලොවේකියාවේ ජනපතිවරණය ඊයේ (30) පැවැති අතර, එයින් ජයග්‍රහණය කිරීමට දූෂණ මැඬලීමට ප්‍රතිඥා දුන් සුසානා කැපුටෝවා සමත් වූවාය. ඒ අනුව, ස්ලොවේකියාවේ ජනපති ධුරයට පත් පළමු කාන්තාව කැපුටෝවාය.

ඊයේ (30) පැවැත්වූයේ ස්ලොවේකියා ජනාධිපතිවරණයේ දෙවැනි අදියරය. දෙවැනි අදියර පැවැත්වූයේ මාර්කෝස් සෙෆ්කොවික් සහ කැපුටෝවා අතරේය.

කිසිදු දේශපාලන අත්දැකීමක් නොමැති කැපුටෝවා, ප්‍රවීණ අත්දැකීම් බහුල දේශපාලනඥයකු වන සෙෆ්කොවික් පරාජය කිරීම ස්ලොවේකියා දේශපාලනයේ සන්ධිස්ථානයක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. යුරෝපා කොමිසමේ උප සභාපති වන්නේ ද සෙෆ්කොවික් ය.

දේශපාලන අත්දැකීම් නොමැති වුවත්, 45 හැවිරිදි කැපුටෝවා වසර ගණනාවක් තිස්සේ නීතීඥවරියක ලෙස කටයුතු කළ අයෙකි. අනවසර ඉඩම් ගොඩකිරීම් සම්බන්ධයෙන් ඇය වසර 14 ක් තිස්සේ එක් නඩුවක් වෙනුවෙන් පෙනී සිටි බව ද ස්ලොවේකියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඡන්ද ප්‍රතිඵල නිකුත් වී අවසන් වෙද්දී, කැපුටෝවා සියයට 58 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන තිබුණු අතර, සෙෆ්කොවික් ට හිමි කර ගැනීමට හැකිවී තිබුණේ සියයට 42 ක ප්‍රතිශතයක් පමණය.

ස්ලොවේකියා දේශපාලනඥයන් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි අතරේ සබඳතා ඇති බවට පසුගිය කාලය පුරවට චෝදනා නැගෙන්න විය. යාන් කුසියැක් නමැති ස්ලොවේකියා ගවේෂණාත්මක මාධ්‍යවේදියා දේශපාලනඥයන් සහ අපරාධ කල්ලි අතරේ ඇති ගනුදෙනු ජනතාවට අනාවරණය කළේ 2017 දීය. ඒ අනුව, කිසියම් පිරිසක් යාන් කුසියැක් සහ ඔහු විවාහ ගිවිසගත් තරුණිය වෙඩි තබා ඝාතනය කළේය. ඒ, පසුගිය 2018 පෙබරවාරියේය. මෙය ස්ලොවේකියාව කැලැඹූ සිදුවීමක් විය.

තමා දේශපාලනයට පිවිසෙන්නේත්, ජනපති ධුරය වෙනුවෙන් තරග කරන්නේත්, යාන් කුසියැක් ඝාතන සිදුවීම මුල්කොට ගනිමින් බවත්, යාන් කුසියැක් වෙනුවෙන් පමණක් නොව, ස්ලොවේකියා වැසියන් වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට විය යුතු බවත්, දූෂණය පිටුදැකීමට කටයුතු කරන බවත් කැපුටෝවා ප්‍රතිඥා දී තිබේ.

කැපුටෝවා ජනපතිවරණයට ඉදිරිපත් වූයේ ‘ස්මර් එස්ඩී’ නමැති පක්ෂයෙනි. මෙම පක්ෂයට නායකත්වය දුන්නේ රොබර්ට් ෆිකෝය. මොහු 2018 වනවිට ස්ලොවේකියාවේ අගමැතිවරයා ලෙස කටයුතු කළේය. මාධ්‍යවේදී කුසියැක්ගේ ඝාතනයෙන් පසු එල්ල වූ ජනතා පීඩනය හමුවේ, ෆිකෝ අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය.

නිල වශයෙන් හැඳින්වෙන්නේ ස්ලොවෙක් ජනරජය ලෙස හැඳින්වෙන ස්ලොවේකියාව මධ්‍යම යුරෝපායේ පොල්නත්යට, යුක්රේනයට, හංගේරියාවට සහ ඔස්ටි්‍රයාවට වටවී පිහිටි කුඩා රාජ්‍යයකි. අතීතයේ චෙකොස්ලොවේකියාවේ කොටසකි. ස්ලොවේකියාවේ අගනුවර වන්නේ බ්‍රැටිස්ලාවාය. භාවිත කෙරෙන මුදල් ඒකකය යූරෝ ය. ස්ලොවේකියාව යුරෝපා සංගමයේ සාමාජිකයකු වූයේ 2004  වසරේදීයත නිල භාෂාව ස්ලොවෙක් වන අතර ස්ලොවේකියාවේ පවතින්නේ ඒකීය පාර්ලිමේන්තු ජනරජයකි.

බ්‍රැටිස්ලාවාහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS