ශක්තිමත් සමෘද්ධිමත් ඇමෙරිකාවක්

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ජනපති ධුරයට පත් වීමෙන් පසු සිය මංගල ප්‍රතිපත්ති කතාව (ස්ටේට් ඔෆ් යූනියන්) කොංග්රස් මණ්ඩලය හමුවේ ඉදිරිපත් කරමින්, වඩාත් ආරක්ෂිත, සමෘද්ධිමත්, ශක්තිමත් ඇමෙරිකාවක් බිහි කරන බවට ප්‍රතිඥා දුන්නේය.
ලෝකයා හමුවේ ඇමෙරිකාවේ ප්‍රතිරූපය වෙනස් කරමින්, සැබෑ නායකත්වයක් ලොවට දීමට ඇමෙරිකාව නව මඟකට යොමු කරවන බව ද රිපබ්ලිකන් පාක්ෂික ජනපති ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේය. ජනපතිවරයා ප්‍රතිවාදී ඩිමොක්රටික් පාක්ෂිකයන්ට යෝජනා කළේ පක්ෂ භේදයකින් තොරව, තමන් සහ තම තම රිපබ්ලිකන්වරුන් සමඟ එක්වී, සහයෝගයෙන් වැඩ කරමු කියාය.
ඇමෙරිකානු කොංග්රස් මණ්ඩලය යනු, එරට සෙනෙට් මණ්ඩලයේත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේත් එකතුවය. කොංග්රස් මණ්ඩලය රැස්වෙන්නේ වොෂින්ටන් අගනුවර කැපිටල් හිල් ගොඩනැගිල්ලේය.
ඩොනල්ඞ් ට්‍රම්ප් ධනවත් ව්‍යාපාරිකයෙකි. පසුගිය 2016 වසරේ ජනවාරියේ ඔහු ජනපති ධුරයට පත් වූයේ දේශපාලන පසුබිමක් ඇති අයකු ලෙස නොවෙයි.
කෙසේ නමුත් ‘ඇමෙරිකාවට මුල්තැන’ සංකල්පය යටතේ ට්‍රම්ප් ඇමෙරිකන් ව්‍යාපාරික සමාගම් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීමට කටයුතු කළේය.
මේ වනවිට ඇමෙරිකාවේ ආර්ථිකය පැහැදිලි ලෙස වර්ධනයක් පෙන්නුම් කර තිබේ. එසේ තිබියදී පවා ජනාධිපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වයේ වැඩිවීමක් පෙන්නුම් කර නැති බව මාධ්‍ය වාර්තා වැඩි දුරටත් කියා සිටී.
‘අප ඇමෙරිකානුවන් ඇමෙරිකාව ගැන ආඩම්බර වෙන්න ඕනෑ. පසුගිය කාලවකවානුවේ අපට අපේ ඇමෙරිකාව ගැන ආඩම්බර වෙන්න හේතුවක් තිබුණේ නැහැ. ඒත් ඉදිරියට එහෙම වෙන්නේ නැහැ. ඒත වෙනස් කළ යුතුයි. ඇමෙරිකානුවන්ට ඔවුන්ගේ ‘ඇමෙරිකන් සිහිනය’ සැබෑ කර දීමට මම පියවර ගන්නවා. එක කණ්ඩායමක්, එක ජාතියක්, එක රටක්, එක ඇමෙරිකන් පවුලක්’ යැයි ජනපති ට්‍රම්ප් සිය දේශනයේදී අවධාරණය කළේය.
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති කතාවට සවන්දීමට ඇමෙරිකා හමුදා ප්‍රධානීන්, විනිසුරුවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් ද පැමිණ සිටියහ.
සම්භාවනීය අමුත්තන් අතර උතුරු කොරියාවේ දැඩි මර්දනකාරී පාලනයෙන් මිදී, ඇමෙරිකාවට පැමිණි උතුරු කොරියානු වැසියකු ජී සියොංග් හෝ ද පැමිණ සිටියේය.
කොංග්රස් සභිකයන්ගෙත් ලොව සෙසු කාගේත් අවධානය යොමු වී තිබුණේ ජනපතිවරයාගේ විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙනි. ට්‍රම්ප් උතුරු කොරියාව විවේචනය කළේය. මිසයිල යොදාගෙන පහර දෙනවා යැයි උතුරු කොරියාව දිගින් දිගටම එල්ල කරන තර්ජන සුළුකොට තැකිය නොහැකි යැයි ට්‍රම්ප් පැවැසීය.
ඇෆ්ගනිස්තානයේ පසුගිය දින කිහිපයේ උත්සන්න වුණු තලේබාන් සහ අයි.එස්. ත්රස්තවාදීන්ගේ තර්ජන සම්බන්ධයෙන් ට්‍රම්ප් කියා සිටියේ ත්රස්තවාදීන්ට එරෙහි සටන තවමත් අවසන් නැති බවත්, තමන් ඉස්ලාමීය ත්රස්තවාදීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත්ය.
ඇමෙරිකාව රජය, කියුබාවේ ග්වන්තනාමෝ බොක්කේ පවත්වාගෙන යන ග්වන්තනාමෝ බන්ධනාගාරය දිගටම පවත්වා ගෙන යන බවත්, එම බන්ධනාගාරය ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට රුකුලක් බවත් ට්‍රම්ප් පෙන්වා දුන්නේය. මෙය ඩිමොක්රටික් පාක්ෂිකයන්ගේ දෝෂදර්ශනයට හේතුවක් විය.
ඩිමොක්රටික් පාක්ෂික බැරැක් ඔබාමා ජනපති ධුරයේ කටයුතු කරද්දී ඔහු මෙම බන්ධනාගාරය වසා දැමීමට කටයුතු කළේය. ඒ, මානව හිමිකම් උල්ලංඝනය වෙනවා යැයි පෙන්වා දෙමිනි. කෙසේ නමුත් එම උත්සාහය අසාර්ථක විය.
ඉස්ලාමීය ත්‍රස්ත සැකකරුවන් රඳවා තැබෙන්නේ මෙම බන්ධනාගාරයේය. ඔවුහු නිරන්තරයෙන් වද බන්ධනයන්ට ලක් වෙති. එම පිරිස රඳවා තැබෙන්නේ චෝදනා ගොනු කිරීමක් හෝ නැතිවය. ඇමෙරිකා ආරක්ෂක අංශ පවසන්නේ බන්ධනාගාරයේ රැඳෙවියන් නිදහස් කිරීම ඇමෙරිකාවේ ආරක්ෂාවට විශාල තර්ජනයක් වනු ඇතැයි කියාය.
(ඒ.එෆ්.පී.)

