රුසියන් නිළියක් උඩු ගුවනට



රුසියානු සිනමාවේ ජනප්‍රිය නිළියක වන යුලියා පෙරෙසිල්ඩ්, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ බලා පිටත්ව යෑමට සූදානම් වෙයි. ඒ, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ රූගත කෙරෙන චිත්‍රපටයක රංගනය සඳහාය.

37 හැවිරිදි යුලියා, ලබන පස් වැනිදා රුසියාවේ සෝයූස් රොකට්ටුවක අධාරයෙන්, සෝයූස් එම්.එස්.19 ගගන කැප්සියුලයේ නැගී කිලෝ මීටර් 354 ක් ඉහළින් ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා පිටත්ව යෑමට නියමිතය.

යුලියා අභ්‍යවකාශය බලා යන්නේ තනිවම නොවෙයි, රුසියන් ගගනගාමීන් දෙදෙනකු සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මෙන්ම එහි ප්‍රධාන නළුවකු ද වන කිම් ෂිපෙනෝව් ද ඇය සමඟ කැප්සියුලයේ ගමන් කරනු ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
අභ්‍යවකාශ නැවතුම්පොළේ රූගත කෙරෙන මෙම නව චිත්‍රපටය නම් කර ඇත්තේ 'චැලේන්ජ්' යනුවෙනි.

රුසියන් අභ්‍යවකාශ ආයතනය වන 'රොස්කොස්මොස්' සහ රුසියන් රජයේ අනුග්‍රහය ලබන 'චැනල් 1' නාලිකාව සම නිෂ්පාදකවරුන් ලෙස චිත්‍රපටයට සම්බන්ධ වෙයි. අභ්‍යවකාශ නැවතුම්පොළේ චිත්‍රපටයක් රූගත කරන බවත් එහි නිෂ්පාදන කටයුතුවලට රුසියන් අභ්‍යවකාශ ආයතනය සම්බන්ධ වන බවත් එහි ප්‍රධානී දිමිත්‍රි රොගොසින් මාධ්‍ය හමුවේ පවසා තිබුණේ පසුගිය මැයි මාසයේය.

කිම් ෂිපෙන්කෝ

චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මෙන්ම එහි ප්‍රධාන නළුවකු ද වන 37 හැවිරිදි කිම් ෂිපෙන්කෝ පවසන්නේ 'චැලේන්ජ්' චිත්‍රපටය හැකිතාක් තාත්වික අයුරින් ප්‍රේෂ්කයන් හමුවට ගෙන ඒමට අවශ්‍ය බැවින්, එය සැබැවින්ම අභ්‍යවකාශ නැවතුම්පොළේ රූගත කෙරෙනු ඇති බවය. චිත්‍රපටයේ කැමරාකරණ කටයුතු තමන් අතින් ද අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටින සෙසු රුසියන් ගගනගාමීන් අතින් ද සිදුවනු ඇති බවත් අඩුපාඩු පසුව සකසා ගන්නා බවත් කිම් ෂිපෙන්කෝ පැහැදිලි කර තිබේ.

''චැලෙන්ජ් චිත්‍රපටය නිර්මාණය වන්නේ දක්ෂ වෛද්‍යවරයකු පාදක කර ගනිමින්. මොහු අභ්‍යවකාශයට යන්න සිහින දකින කෙනෙක් නම් නොවෙයි. අභ්‍යවකාශ නැවතුම්පොළේ ගගනගාමීන්ගෙන් කෙනකු අකරතැබ්බකට මුහුණ දී රෝගී වෙනවා. ඔහු පෘථිවියට ගේන්න විදියක් නැති වෙනවා. ඔහුට ප්‍රතිකාර කරන්න වෛද්‍යවරයාට අකමැත්තෙන් වුණත් අභ්‍යවකාශ නැවැතුම්පොළට යන්න වෙනවා' යැයි චිත්‍රපටයේ කතාව මාධ්‍ය හමුවේ පැහැදිලි කරමින් කිම් ෂිපෙන්කෝ පවසා තිබේ.

'චැලෙන්ජ් චිත්‍රපටයට මා තෝරාගත් අවස්ථාවේ මා සතුටට පත් වුණා. ඒත් හිතුවේ නැහැ ඇත්තටම අභ්‍යවකාශයට යන්න වේවි. ඒත් ඒක කරන්න සිදුවෙනවා. මාස ගණනක් තිස්සේ මම සහ කිම් ෂිපෙන්කෝ රුසියන් අභ්‍යවකාශ ආයතනයේ පුහුණුවීම් කළා. ගගනගාමීන්ට ලැබෙන පුහුණුව අපට ලැබුණා. බයයි නම් තමයි. ඒත් දැන් ආපසු හැරෙන්න බැහැ.' යැයි යුලියා පෙරෙසිල්ඩ් මාධ්‍ය හමුවේ පවසා ඇත.  අභ්‍යවකාශ නැවැතුම්පොළට යන සහ එහි රැදී සිටින සැබෑ රැසියන් ගගනගාමීන් ද නළුවන් ලෙස චිත්‍රපටයට එක් වනු ඇතැයි පැවැසෙයි.

මේ අතර, පසුගිය දා ඇමෙරිකාවේ ස්පේස් එක්ස් සමාගම සහ නාසා ආයතනය එක් වී, ස්පේස් එක්ස් රොකට්ටුවක් සහ ගගන කැප්සියුලයක් ආධාරයෙන් ගගනගාමීන් නොවන, සිවිල් වැසියන් සිවු දෙනකු ගගනගාමීන්ට ලැබෙන පුහුණුවක් ලබා දී පෘථිවි කක්ෂයට යවා ආපසු පෘථිවියට ගෙන්වා ගත්තේය.

ස්පේස් එක්ස් කැප්සියුලය ආපසු පැමිණියේ අභ්‍යවකාශ නැවැතුම්පොළ පිහිටා ඇති ස්ථානයටත් වඩා ඉහළට ගොස් දින 3 ක් පෘථිවි කක්ෂයේ රැඳී සිටිමින් පෘථිවිය වටා ගමන් කිරීමෙන් ද අනතුරුවය. ස්පේස් එක්ස් සමාගම ඔවුන්ගේ පෞද්ගලික ගගන සංචාර නිල වශයෙන් ආරම්භ කළේ ඒ අනුවය.

රුසියන් නිළි යුලියා පෙරෙසිල්ඩ් සහ අධ්‍යක්ෂ කිම් ෂිපෙන්කෝ ගගනගාමීන්ට ලැබෙන පුහුණුවකින් පසු උඩු අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා යන්නේ ද සිවිල් වැසියන් ලෙසය.

රුසියාව පමණක් නොව ඇමෙරිකන් හොලිවුඩටත් අභ්‍යවකාශ නැවැතුම්පොළේ චිත්‍රපට රූගත කිරීමකට සූදානම් වෙයි. රූගත කෙරෙන්නේ ජනප්‍රිය හොලිවුඩ් නළි ටොම් කෲස්ගේ නවතම චිත්‍රපටයයි. 58 හැවිරිදි ටොම් කෲස් සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂ 55 හැවිරිදි ඩග් ලීමන් එම චිත්‍රපටයේ නිර්මාණ කටයුතු සඳහා ඔකතෝබර් මාසයේ අභ්‍යවකාශයට යනු ඇතැයි පැවැසෙයි.

එම ගගන ගමනට අනුග්‍රහය දක්වන්නේ 'ස්පේස් එක්ස්' සමාගම සහ නාසා ආයතනයයි. නාසා ආයතනය සහ 'ස්පේස් එක්ස්' සමාගම ටොම් කෲස් අභ්‍යවකාශයට රැගෙන යමින් චිත්‍රපටයක් නිර්මාණයට පිඹුරුපත් සකස් කෙරුණේ පසුගිය වසරේ සිටය.

(ද සන්)


RECOMMEND POSTS