රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල 2022



රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2022 උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (28) පැවැත්විණි.

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම ස්වතන්ත්‍ර සිංහල නවකතාවට හිමි සම්මානය  එරික් ඉලයප්ආරච්චි මහතා විසින් රචිත ‘නකුලමුනි’ නව කතාවට හිමිවිය.

හොඳම ස්වතන්ත්‍ර කෙටි කතා සංග්‍රහය (සිංහල) වෙනුවෙන් වන රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවූයේ ද ඉලයප්පආරච්චි මහතා විසින් රචිත ‘ජාත්‍යන්තර පාපොච්චාරණය’ කෘතියට වීම විශේෂත්වයකි.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය සාහිත්‍ය උපදේශක කාරක සභාව එක්ව වාර්ෂිකව රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල පවත්වන අතර මෙවර උළෙල සංවිධානය කර තිබුණේ 65 වන වරටය.
රාජ්‍ය සාහිත්‍ය සම්මාන 40 ක් හා ජීවිතයේ එක්වරක් පමණක් පිරිනමන සාහිත්‍යරත්න සම්මාන තුනක් මෙවර සම්මාන උළෙලේ දී පිරිනැමිණි.

සිංහල සාහිත්‍ය ක්‍ෂේත්‍රය වෙනුවෙන් ඉටුකළ මෙහෙවර උදෙසා සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු, ඉංග්‍රීසි සාහිත්‍ය ක්‍ෂේත්‍රය වෙනුවෙන් ඉටුකළ මෙහෙවර උදෙසා මහාචාර්ය කමනි ජයසේකර සහ දෙමළ සාහිත්‍ය ක්‍ෂේත්‍රය වෙනුවෙන් ඉටුකළ මෙහෙවර උදෙසා තී.ඥානසේකරන් යන මහත්ම මහත්මීහු මෙවර සාහිත්‍යරත්න සම්මානයෙන් පිදුම් ලැබූහ.

සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් 2021 වසරේ රචිත කෘතීන් අතුරින් තරඟ ශීර්ෂ 21ක් යටතේ තෝරාගත් විශිෂ්ටතම කෘතීන් වෙනුවෙන් මෙහිදී වෙන වෙනම සම්මාන පිරිනැමිණි.

මෙවර සම්මාන උළෙලේ දී වසරේ රචිත හොඳම ස්වතන්ත්‍ර පද්‍ය සංග්‍රහයට හිමි සම්මානය හිමිවූයේ අනුරාධා නිල්මිණි මහත්මිය රචනා කළ ‘නාරි සූත්‍රය’ කෘතියටය.

හොඳම ස්වතන්ත්‍ර ගීත රචනා කෘතියට හිමි සම්මානය මෙවර වසන්ත කුමාර කොබවක මහතා විසින් රචිත ‘පමා වී පිපුණු මල් සුවඳයි’ කෘතියට හිමි වූ අතර, වසරේ හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය ලෙස මනෝහරී ජයලත් මහත්මියගේ ‘මැට්ටි’ කෘතිය සම්මාන ලැබීය.
මෙවර හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය කෘතියට හිමි සම්මානය හිමිවූයේ චමිල ප්‍රියංක මහතා විසින් රචිත ‘මෙය තුවක්කුවක් නොවේ’ කෘතිය වෙනුවෙනි.

හොඳම ශාස්ත්‍රීය හා පර්යේෂණ ග්‍රන්ථය ලෙස හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්, ආචාර්ය සෙනරත් දිසානායක මහතා රචනා කළ ‘නව පුරාවිද්‍යාව එහි මූලධර්ම  ‘ශාබ්දික සිනමාව’ කෘතියට සම්මාන හිමිවූ අතර, හොඳම විවිධ විෂයක ග්‍රන්ථය (මානව ශාස්ත්‍ර) සඳහා වන සම්මානය රංගන කුරුවිට මහතා රචනා කළ ‘ඉතිබිසෝ ජාතකය හා ඉතිබිසෝ ජාතික කාව්‍ය’ කෘතියට හිමිවිය.

ප්‍රමෝදි නිල්වලා හේවාවිතාරණ මහත්මිය රචනා කළ පොල් රුප්පා සහ මුතු පන්ති නොහොත් සිලෝනයේ විත්ති’ කෘතියට හොඳම විවිධ විෂයක ග්‍රන්ථයට (පරිවර්තිත) වෙනුවෙන් වූ සම්මානය හිමිවූ අතර ‘මම රක්ත වර්ණ වෙමි’ කෘතිය රචනා කළ නිලූක කඳුරුගමුව මහතා හොඳම පරිවර්තිත සිංහල නවකතාවට හිමි සම්මානය දිනාගත්තේය.

හොඳම පරිවර්තිත කෙටි කතා සංග්‍රහය ලෙස ප්‍රභාත් සේනාරත්න මහතා රචනා කළ ‘ආදම්ගේ දිනපොත සහ තවත් කතා’ කෘතියට සම්මාන හිමි වූ අතර, හොඳම පරිවර්තිත පද්‍ය සංග්‍රහය ලෙස ලක්ශාන්ත අතුකෝරාළ මහතාගේ ‘ආදර කවි විස්සක් සහ සුන් පැතුම් ගීතිකාවක්’ කෘතිය සම්මාන ලැබීය.

එමෙන්ම හොඳම පරිවර්තිත නාට්‍ය කෘතිය ලෙස සුනිල් විජේසිරිවර්ධන මහතාගේ ‘යක්‍ෂාගමනය’ කෘතියට සම්මාන හිමිවූ අතර, හොඳම පරිවර්තිත යොවුන් සාහිත්‍ය කෘතියට හිමි සම්මානය පත්මා විජේසිංහ මහත්මියගේ ‘ලුලූට පවුල් දෙකක්’ කෘතියට හිමිවිය.

හොඳම විද්‍යා සාහිත්‍ය කෘතිය සම්මානය කේෂාන් හරේෂු විසින් රචිත ‘ග්ලැසේරා’ කෘතියට හිමිවූ අතර, හොඳම ළමා සාහිත්‍ය කෘතිය (පළමුවැනි කාණ්ඩය) ලෙස සංජය වික්‍රමාරච්චි මහතා රචනා කළ ‘වලං මාමා’ කෘතිය සම්මාන ලැබීය.

හොඳම නිමාවෙන් හා පිටු සැකැස්මෙන් යුත් කෘතියට හිමි සම්මානය ‘Pearl’ කෘතිය වෙනුවෙන් කසුන් ප්‍රදීප් බෙණරගම මහතා හිමිකරගත් අතර, හොඳම පිටකවරය සඳහා වන සම්මානය ‘සාරස පුවත් ලිපි සරණිය’ කෘතියේ කවර නිර්මාණය කළ චාරුක කුමාරපේලි මහතාට හිමිවිය.

වසරේ ප්‍රකාශිත ග්‍රන්ථ අතරින් රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශිත වැඩිම ග්‍රන්ථ සංඛ්‍යාවක ප්‍රකාශයට පත්කළ ආයතනයට පිරිනැමෙන සම්මානය මෙවර ද ‘ඇස් ගොඩගේ සහ පුත්‍රයෝ’ පුද්ගලික සමාගමට හිමිවිය.

සටහන - ඩයනා උදයංගනී
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

RECOMMEND POSTS