මියන්මාර හමුදාව බලය අල්ලයි



මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී

මියන්මාරයේ පාලනය තමන් අතට ගෙන, හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කිරීමට එරට හමුදාව අද (1) උදෑසන කටයුතු කළේය.

පසුගිය නොවැම්බරයේ පැවැති මියන්මාර මහ මැතිවරණයෙන්, නායිකා අවුන් සාන් සූ කී සහ ඇගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයට විශිෂ්ට ජයක් හිමිවිය.

එම මහ මැතිවරණය දූෂිත බවටත්, ඡන්ද වංචා සිදුවුණු බවටත් හමුදාව චෝදනා නගයි.

මියන්මාර හමුදාව සහ හමුදාවට පක්ෂපාතී දේශපාලන කණ්ඩායම් පසුගිය මාසය පුරාවට විරෝතා රැලි පවත්වන්න විය. ඒ, මැතිවරණ ප්‍රතිඵලය පිළිගැනීමට නොහැකි බව පවසමිනි.

මැතිවරණයෙන් පසු මියන්මාර පාර්ලිමේන්තුව අද (1) උදෑසන පළමු වරට රැස්වීමට නියමිතව තිබුණි. හමුදාව වහා ක්‍රියාත්මක වී, සූ කී සහ  ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායකයන්ගේ නිවෙස්වලට කඩා වැදී ඔවුන් අත්අඩංගුවට ගත්තේ ඊට ඉඩ ලබා නොදෙමිනි.

සූ කී මියන්මාරයේ විදේශ ඇමැතිනිය ලෙසත් නිල නොවන රාජ්‍ය නායිකාව ලෙසත් පසුගිය වසර කිහිපය පුරා කටයුතු කළාය. ජනාධිපති ධුරයට පත්වීමට සූ කී ට අවස්ථාවක් නැත. ඒ, සූ කී විවාහ වී සිටියේ බ්‍රිතාන්‍ය ජාතිකයකු සමඟ බැවිනි. මියන්මාර හමුදාව, එරට ව්‍යවස්ථාව සකසා ඇත්තේ විදේශිකයකු සමඟ විවාහ වන අයකුට ජනාධිපති ධුරය දැරිය නොහැකි බවට කොන්දේසියක් පනවමින්ය.

ඒ අනුව සූ කී නිල නොවන නායිකාව ලෙස රාජ්‍ය පාලන කටයුතු කළ අතර, ජනාධිපති ලෙස සූ කීගේ හිතවතකු වන වින් මියින්ත් පත් කෙරුණි. වින් මියින්ත් නාමික ජනාධිපතිවරයකු පමණක් විය.

රටේ පාලනය තමන් අතට පවරා ගන්නා බව මියන්මාර හමුදාපති සේනාධිනායක ජනරාල් මිංග් අවුන්ග් ලැයිංග්, එරට හමුදාවට අයත් රූපවාහිනී නාළිකාවකින් මියන්මාර වැසියන් අමතමින් පැවැසුවේය.

පාලනය අත්පත් කර ගැනීමෙන් පසු හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කරන බව ඉන්පසු පැවැසුවේය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදයට තමන් බාධා නොකරන බවත්, වසරක කාලයක් හමුදා පාලනය යටතේ මියන්මාරය පවතිනු ඇති බවත් මියන්මාර හමුදාපති පවසා තිබේ.

1962 වසරේ සිට 2011 තෙක් කාලයේ මියන්මාරයේ පැවැතියේ හමුදා ජුන්ටාවකි.

හමුදාව රටේ පාලනය අත්පත් කරගෙන පැවැති අවදියේ, සූ කී වසර ගණනාවක් නිවාස අඩස්සියේ පසුවූවාය.

2011 වසරේ මියන්මාර මහ මැතිවරණය පැවැත්වූයේ දේශපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමිනි. සූ කී සහ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී ලීගය බලයට පත් වූයේ ඉන්පසුවය.

හරියටම වසර 10 ක් ගතවෙද්දී මියන්මාර හමුදාව රටේ බලය අත්පත් කර ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් බටහිර රටවල් කනස්සල්ල පළ කර ඇත.

මියන්මාර දේශපාලනයේ ඇති වුණු කැලැඹිලිකාරී ස්වරූපය සම්බන්ධයෙන් තමන් දැඩි විමසිල්ලෙන් පසුවන බව බටහිර රටවල් අවධාරණය කර තිබේ.

(රොයිටර්/අල්ජසීරා)


RECOMMEND POSTS