බ්‍රිතාන්‍ය මහ මැතිවරණය අද



ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ තර්ජන හමුවේ, විශේෂ ආරක්ෂාවක් මැද, මහා බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණය අද (8) පැවැත්වෙයි.

මහ මැතිවරණය පැවැත්වෙන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය සඳහා නියෝජිතයන් තෝරා ගැනීමටය.

බ්‍රිතාන්‍ය මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2020 වසරේ මැයි 7 වැනිදාය. අද (8) මහ මැතිවරණය පැවැත්වෙන්නේ අගමැතිනී තෙරේසා මේ ගේ හදිසි තීරණයකට අනුවය.

හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට අගමැති මේ තීරණය කිරීමෙන් පසු, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ඒ සම්බන්ධයෙන් ඡන්දයක් පැවැත්විණි. ඒ, අප්‍රේල් 19 වැනිදාය. එහිදී 522 දෙදෙනකු කැමැත්ත පළ කළේ මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි කියාය. විරුද්ධ වූයේ 13 දෙනකු පමණි.

පසුගිය 2016 වසරේ දී මහා බ්‍රිතාන්‍යයේ ජනමත විමසුමක් පැවැත්විණි. ඒ, යුරෝපා හවුලෙන්, එසේත් නැතිනම් යුරෝපා සංගමයෙන් මහා බ්‍රිතාන්‍යය ඉවත් වෙනවා ද නැද්ද යන්න තීරණය කිරීමටය. එවිට බ්‍රිතාන්‍ය අගමැති වී සිටියේ ඬේවිඞ් කැමරන්ය. පාලක පක්ෂය කැමරන්ගේ කොන්සවර්ටිව් පක්ෂය විය.

කැමරන් අගමැති ධුරයට පත් වී සිටියේ 2015 වසරේ පැවැති මහ මැතිවරණයේ අතිබහුතර ජන වරමක් හිමිකර ගනිමිනි. යුරෝපා සංගමයෙන් වෙන් වෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් 2016 වසරේ පැවැති ජනමත විමසුමෙන්, අගමැති කැමරන් පරාජය විය. කැමරන්ගේ ස්ථාවරය වූයේ යුරෝපා සංගමය සමඟ දිගටම එක් වී සිටීම මහා බ්‍රිතාන්‍යයට ශක්තියක් සහ අභිමානයක් කියාය. කෙසේ නමුත් බ්‍රිතාන්‍ය වැසියන් බහුතරය ඡන්දය දුන්නේ යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුයි කියාය.

ජනමත විමසුමෙන් පරාජය වීමත් සමඟ රටේ නායකත්වයට තමන් සුදුසු නැති බව පෙන්වා දෙමින් කැමරන් අගමැති ධුරයට සමුදුන්නේය. පසුව ඔහු කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වයෙන් ද ඉවත් විය.

කැමරන්ගේ අඩුව පිරවීමටත් කොන්වසර්ටිව් පක්ෂයේ නව නායකත්වයත් සඳහා සුදුසුස්සකු තෝරා ගැනීමට කොන්වසර්ටිව් පක්ෂ අභ්‍යන්තරයේ ඡන්දයක් පැවැත්විණි.

කෘතහස්ථ දේශපාලන චරිතයක් වන 60 හැවිරිදි තෙරේසා මේ අගමැති ධුරයට පත් වූයේ ඒ අනුවය.
අගමැතිනී මේ, මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් කර ගැනීමේ දීර්ග මෙන්ම වෙහෙසකර ක්‍රියාවලිය ආරම්භ කර ඇත. යුරෝපා සංගමයෙන් ඉවත් වෙද්දී මහා බ්‍රිතාන්‍යයට දඬ මුදලක් ගෙවීමටත් සිදුවෙයි. එමෙන්ම යුරෝපා සංගමයේ සෙසු සාමාජිකයන්ගේ කොන්දේසිවලට යටත් වීමට ද සිදුවෙයි.

යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත් වීමේ ක්‍රියාවලියට ක්‍රමාණුකූලව මුහුණ දීමට සැබෑ ජන බලයක් අවශ්‍ය යැයි තෙරේසා මේ විශ්වාස කරයි. ජනතා ඡන්දයෙන් අගමැති ධුරයට පත් නොවුණු හෙයින් ජනතා විශ්වාසය දිනා ගැනීමට මෙම මහ මැතිවරණය පවත්වන බව මේ කියා සිටී.

හදිසි මහ මැතිවරණයක් පවත්වන්නැයි අගමැතිනී තෙරේසා මේට දිගින් දිගටම බලපෑම් කළ අයකු වන්නේ විපක්ෂ නායක ජෙරමි කෝර්බින්ය. මොහු කම්කරු පක්ෂය නියෝජනය කරයි. අගමැතිනී තෙරේසා මේ ට යළිත් වරක් අගමැති ධුරය හිමිවනු ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇත. ඊට හේතුව ඇගේ කොන්සවර්ටිව් පක්ෂය සමඟ බහුතරයක් එක් රොක් වී සිටීමය.

කෙසේ නමුත් පසුගිය සති අන්තයේත්, මැයි 22 වැනිදාත් සිදුවුණු ත්‍රස්ත ප්‍රහාර මුල්කොට ගනිමින් අගමැති තේරේසා මේ ට දොස් අසන්න සිදුවී ඇත. මැයි 22 වැනිදා මැන්චෙස්ටර් රඟහලට එල්ල වුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සහ පසුගිය සති අන්තයේ මධ්‍යම ලන්ඩනයට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් මහා බ්‍රිතාන්‍යයේ සියලුම දේශපාලන පක්ෂ ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක තටයුතු තාවකාලිකව නවතා දැමුණි.

ස්කොට්ලන්ඞ්යාඞ් බුද්ධි අංශය පවසා ඇත්තේ මේ වනවිට මහා බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත සැකකරුවන් 3,500 ක පිරිසක් සිටින බවය. ඔවුන් ගැන තමන් සෝදිසියෙන් පසුවන බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ ද පවසා ඇත. මෙම 3,500 ක පිරිස සම්බන්ධයෙන් තමන් කුමන තීරණයක් ගන්නවාද, ඔවුන් හැමෝම අල්ලා සිරගත කිරීමට තරම් ශක්තියක් තමන්ට තිබෙනවා ද නැද්ද යන්න බ්‍රිතාන්‍ය ජනතාව තෙරේසා මේ ගෙන් ප්‍රශ්න කර තිබේ.

පසුගිය සති අන්තයේ මධ්‍යම ලන්ඩනයට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ පවසා ඇත්තේ ‘ඉවසුවා ඇති’ යැයි කියාය.

අද (8) මහ මැතිවරණය පැවැත්වෙන්නේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේය. මැතිවරණ කටයුතු කඩාකප්පල් කරනවා යැයි අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය අනතුරු ඇඟවීමක් කර ඇත.

මැතිවරණ කටයුතු උදෑසන 7 ට ආරම්භ වුණු අතර සවස රාත්‍රී 10 ට අවසන් විය. මිලියන ගණනක් දෙනා උදෑසන සිටන ඡන්ද මධ්‍යස්ථාවල පෝලිම් ගැසී සිටිනු දැකිය යැකි වුණැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.

ඡන්ද මධ්‍යස්ථාන 40,000 ක් ස්ථාපිත කර තිබුණු අතර, රාත්‍රී 10 ට ඡන්ද ප්‍රකාශ කිරීමේ අවසන් වුණු සැණින් ගණන් කිරීමේ කටයුතු ඇරැඹිණි.

ලුසිත ජයමාන්න


RECOMMEND POSTS