බයිඩන් ඡන්දය දමයි



ඇමෙරිකා ජනපති ධුර අපේක්ෂක, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා ද වන ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් අද (29) ඡන්දය ප්‍රකාශ කළේය.

බයිඩන් ඡන්ද පොළට ගියේ තනිවම නොව බිරිඳ ජිල් බයිඩන් ද සමගිනි. බයිඩන් යුවල ඡන්දය ප්‍රකාශ කළේ ඔවුන් පදිංචි ඩෙලවෙයාර් ජනපදයේ ඡන්ද පොළකදීය.

තමන් ජනාධිපති ධුරයට පත්වුවහොත් සෞඛ්‍ය උපදෙස් නිසිලෙස පිළිපඳිමින් ඇමෙරිකානුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට කඩිනමින් ක්‍රියා කරන බව ඡන්දය ප්‍රකාශ කර පැමිණෙද්දී මාධ්‍යවේදීන් හමුවේ ජෝ බයිඩන් යළිත් වරක් අවධාරණය කළේය.

ඇමෙරිකා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත එලැබෙන නොවැම්බර් 3 වැනිදාය. කොරෝනා වසංගතය හේතුවෙන් ඇමෙරිකානුවන්ට කල්වේලා ඇතිව ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ සලසා දී තිබේ.

ඒ අනුව 77 හැවිරිදි ජෝ බයිඩන් පමණක් නොව, සිය දෙවැනි සහ අවසන් ධුර කාලය අපේක්ෂා කරන රිපබ්ලිකන් අපේක්ෂක ජනපති 74 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඡන්දය ප්‍රකාශ කර තිබේ.‍

ට්‍රම්ප් ෆ්ලොරීඩා ජනපදයේ ජන රැලියකට සහභාගී වෙමින් සිටිද්දී, ඡන්ද පොළකට ගොස් ඡන්ද ප්‍රකාශ කළේය. මේ වනවිට ට්‍රම්ප් ඇරිසේනා ජනපදයේ මැතිවරණ රැලිවලට එක්වෙමින් සිටින බව පැවැසෙයි.

බයිඩන් පවසා ඇත්තේ තමන් ජනාධිපති ධුරයට පත්වුවහොත් මුහුණු ආවරණ අනිවාර්ය කරන බවත් ඇමෙරිකාව ලොක්ඩවුන් කරමින්, වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට පියවර ගන්නා බවත්ය.

ජනපති ට්‍රම්ප්ගේ දරන්නේ ඊට විරුද්ධ අහසකි. ට්‍රම්ප් තරයේ පවසා ඇත්තේ තම පරිපාලනය කිසිම අවස්ථාවක මුහුණු ආවරණ පැලඳීමට කිසිවකුටවත් බල නොකරන බවය. ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ගේ ජය හෝ පැරදුම හෝ තීරණය කරන ප්‍රධාන සාධකය වී ඇත්තේ කොරෝනා වසංගතයයි.

ඇමෙරිකාවේ කොරෝනා වසංගත තත්ත්වයක් නිර්මාණය වූයේ ට්‍රම්ප් පරිපාලනය එය නොසලකා හැරීම හේතුවෙන් යැයි චෝදනා එල්ල වී තිබේ.

මෙවර ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ කොරෝනා වසංගතය මධ්‍යයේය. එහෙයින්, සෞඛ්‍ය උපදෙස් අනුව, මැතිවරණ කටයුතු පැවැත්වීමට මැතිවරණ බලධාරීන්ට සිදුවී ඇත.

ඇමෙරිකන් ඉතිහාසයේ අන් කවරදාවටත් වඩා මෙම ජනාධිපතිවරණය වෙනුවෙන් වැය වන මුදල ඉතා ඉහළ අගයක් ගන්නා බව පැවැසෙයි.

ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දෙන අන්දමට මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් වැය වන මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 14 කි.

(රොයිටර්)


RECOMMEND POSTS