ප්‍රංශය ලොක් ඩවුන්



ගෝලීය වසංගතයක් ලෙස නම් කර තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මුළු රටම ‘සම්පූර්ණ වසා දැමීමකට' (ටෝටල් ලොක්ඩවුන්) ලක් කිරීමට ප්‍රංශ රජය පියවර ගෙන ඇත.

ඒ අනුව දැඩි සීමා පනවමින් ජනතාව නිවාසවලට සීමා කරමින් එම පියවර ගැනීමට ප්‍රංශ බලධාරීහු තීරණය කර ඇත.

යුරෝපා මහද්වීපය තුළ සියලු අත්‍යවශ්‍ය නොවන සංචාරක කටයුතු තහනම් කිරීමට යුරෝපා නායකයෝ තීරණය කර ඇති අතර නව කොරෝනා වයිරසය පැතිර යෑමේ නව කේන්ද්‍රස්ථානයට බවට පත්ව ඇත්තේ ද යුරෝපයයි.

කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය මූල්‍ය වෙළෙඳපොළ දැඩි අර්බුදයකට පත්ව තිබෙන අතර 7,000කට වැඩි පිරිසකට ජීවිත අහිමි වී තිබේ.

දැඩි පියවර ගන්නා බව නිවේදනය කරමින් ‘කෝවිඩ්-19’ වයිරසයට එරෙහි සටන ‘‘යුද්ධයක්’’ යැයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පැවැසීය.

ලොව බොහෝ රටවල් මේ වනවිට දැඩි ක්‍රියාමාර්ග ගනිමින් මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමට පියවර ගනිමින් සිටින අතර රටවල් රැසක් මේ වනවිටත් දේශසීමා වසා දමමින් එම රටවල පුරවැසියන්ට නිවෙස්වලට වී සිටින්නැයි නියෝග කර ඇත.

කෝවිඩ්-19 යනුවෙන් නම් කර ඇති මෙම නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් වන අතර චීනය මේ වනවිට වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට සමත්ව ඇත.

වයිරසය නිසා ඇති වී තිබෙන අර්බුදය ආර්ථිකයේ සෑම අංශයකටම බලපෑම් එල්ල කර ඇති අතර ගෝලීය කොටස් වෙළෙඳපොළවල් දරුණු කඩා වැටීමකට ලක්ව ඇත. වෝල් ස්ට්‍රීට් හි මූල්‍ය වෙළෙඳපොළවල් සඳුඳා දිනයේදී සියයට 12කට වැඩි අගයකින් පහත වැටුණු අතර එය 1987 න් පසු වාර්තා වූ දරුණුම කඩා වැටීම ලෙස සටහන් විය.

ලොව මහ බැංකු සහ ආණ්ඩු මූල්‍ය වෙළෙඳපොළවල විශ්වාසය තහවුරු කිරීම සඳහා පොළී අනුපාත අඩු කරමින් මැදිහත්වීම කළ ද ආයෝජකයෝ තවමත් බියෙන් සහ අවිනිශ්චිත තත්ත්වයකින් පසුවෙති.

වයිරසයෙන් මේ වනවිට 7,000කට වැඩි පිරිසක් මරණයට පත්ව ඇති ඉතාලියෙන් පමණක් වාර්තා වන මරණ ගණන 2,100කට වැඩිය. චීනයට පසු වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට බවට පත්ව ඇත්තේ ඉතාලියයි.

කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 150කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබෙන අතර ආසාදිතයන්ගේ ගණන 183,000 ඉක්මවා ගොස් ඇත.

‘‘අපිට ඇස්වහගෙන සටන් කරන්න බැහැ’’ යැයි කොරෝනා වයිරසයේ තොරතුරු දැනුම් දීම ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දිනපතා පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් අදනොම් පැවැසීය.

‘‘පරීක්ෂා කරන්න, පරීක්ෂා කරන්න, සැක හැමකෙනෙක්ම පරීක්ෂා කරන්න’’ යැයි ද හෙතෙම කීය.

අද සිට දින 15ක් නිවෙස්වලට සිටින්නැයි ද නියෝග කරන බව ද ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ජාතිය අමතමින් ප්‍රකාශ කළේය. අත්‍යවශ්‍ය නොවන සියලු සංචාරක ඇතුළු ගමන්බිමන් තහනම් කරන බව ද හෙතෙම කීය.

ලොව වැඩිම සංචාරක ආකර්ෂණයක් ඇති රට වන ප්‍රංශයේ සංචාරක කර්මාන්තයට දැනටමත් දැඩි බලපෑම් එල්ල වී ඇති ආපනශාලා සහ සංචාරක ස්ථාන දැනටමත් වසා දමා ඇත.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පැනවූ නියෝග නිසි පරිදි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රංශ බලධාරීහු පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් 100,000 යොදවා ඇත.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS