ජාතික නිදහස් දිනය අභිමානවත්ව සැමරේ



ශ්‍රී ලංකාවේ 72 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙල නිදහසේ පියා වන ඩී.එස් සේනානායක මහතාගේ පිළිරුව සෙවණේ, කොළඹ 07, නිදහස් චතුරස්‍රයේදී ඉතා අභිමානවත් අයුරින් පැවැත්විණි.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ද සහභාගීත්වයෙනි.

සුරක්ෂිත දේශීයක් සෞභාග්‍යමත් රටක් යන්න නිදහස් දින සැමරුම් තේමාව විය.

 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නිදහස් දින සැමරුම් උත්සව භූමියට සම්ප්‍රාප්ත වූයේ පෙරවරු 8.15ට වන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරවරු 8.17ට උත්සව භූමියට සම්ප්‍රාප්ත විය.

 ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජනාධිපතිවරයා උත්සව භූමියට සම්ප්‍රාප්තවීම සැලකෙරෙන හොරණෑ වාදනය සිදුකිරීමෙන් පසු මගුල් බෙර වාදන හා සක් පිඹීම් මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් ජාතික ධජය නැංවීම සිදුකෙරිණි.
 අනතුරුව පාසල් සිසු සිසුවියන් සියයක් විසින් ජාතික ගීයත්  පාසල් ශිෂ්‍යාවන් 25 දෙනෙකු විසින් ජයමංගල ගාථා සහ දේවෝ වස්සතු කාලේන ගාථාත් ගායනා කරනු ලැබිණි.

 ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පිදූ සියලු ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කිරීම ඉන් අනතුරුව සිදුකෙරිණ.

 අනතුරුව ජනාධිපති උත්තමාචාර ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජාතිය අමතා අදහස් දැක්වීය.

 ජනාධිපතිවරයාගේ කතාවෙන් පසු ආරම්භ වූයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවල ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්‍ෂක බලකාය සහ ජාතික ශිෂ්‍ය භට බලකාය විසින් පවත්වනු ලබන නිදහස් දින ආචාර පෙළපාලිය හා සංස්කෘතික සංදර්ශනයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 4,325ක්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 868ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 815ක්, ශ්‍රී ලංකා පොලීසියේ 1,382ක්, සිවිල් ආරක්‍ෂක බලකායේ 515ක් සහ ජාතික ශිෂ්‍ය භට බලකායේ 355ක් මෙවර ආචාර පෙළපාලිය සඳහා එක්ව සිටියහ.

 ගුවන් හමුදා ප්‍රහාරක යානා ද උත්සව භූමියට ඉහළ අහසේ සිට මෙම අවස්ථාවට එක්වූ අතර එම අවස්ථාවේදීම ගාලු මුවදොර මුහුදේ සිට නාවික හමුදා යාත්‍රා ද ජාතියට ගෞරවය පුද කළේය.

 ජාතික ගීය වාදනය කිරීමෙන් අනතුරුව පෙරවරු 11.00ට උත්සවයේ කටයුතු නිමාවිය.

 ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ප්‍රධාන උත්සවය ආරම්භවීමට පෙර ආගමික ස්ථාන කේන්ද්‍ර කරගනිමින් අද (4) පෙරවරුවේ සර්ව ආගමික වතාවත් පැවැත්වීමට ද කටයුතු යොදා තිබිණි.

මීට පෙර වසර ගණනාවක් නිදහස් සැමරුම පැවැත්වූයේ කොළඹ ගාලු මුවදොර පිටියේ වුවත් රජය ගත් තීරණයක් අනුව මෙවර එය යළිත් නිදහස් චතුරස්‍රයේදී පැවැත්විණි.

 නිදහස් උත්සවය පැවැත්වෙන නිදහස් චතුරස්‍රය හා ඒ අවට මාර්ග අද (4) පෙරවරුවේ වසා තැබුණු අතර අතර විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු යොදා තිබිණ.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS