උඩු ගුවනේ ගගනගාමීන් ගැන බියක්



කිලෝ මීටර් 408 ක් ඉහළ පෘථිවි කක්ෂයේ රැඳවූ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළට ගිය රුසියන් ගගනගාමීන් දෙදෙනා වන ඇනටෝලි ඉවන්ෂින් සහ ඉවාන් වැග්නර්ටත්, ඇමෙරිකන් නාසා ගගනගාමී ක්‍රිස්ටෝපර් ජේ කැසඩිටත් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි බියක් හටගෙන තිබේ.

රුසියාවේ කසක්ස්තානයේ බයිකනූර් අභ්‍යවකාශ නැවැතුම්පොළෙන්, රුසියානු සෝයූස් එම්.එස්. කැප්සියුලයක ආධාරයෙන් ගගනගාමීන් තිදෙනා අභ්‍යවකාශ නැවැතුම්පොළට ගියේ පසුගිය අප්‍රේල් 9 වැනිදාය.

ගගනගාමීන් තිදෙනා එසේ නැවැතුම්පොළ බලා පිටත්ව ගියේ දින 14 ක් වෙන් වෙන්ව නිරෝධයනට ලක් වී කිසිදු රෝගී තත්ත්වයක් නොමැති බව තහවුරු කර ගැනීමෙන් පසුවය.

කෙසේ නමුත්, අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා පිටත්ව යෑමට සූදානමින් සිටිද්දී, රුසියානු රොකට් සහ අභ්‍යවකාශ කටයුතු සම්බන්ධ ආයතනයේ ප්‍රධානී 64 හැවිරිදි ඉවෙජීනී මික්රින් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සහායක 56 හැවිරිදි දිමිත්‍රි රෝගෝසින් බයිකනූර් අභ්‍යවකාශ නැවැතුම්පොළට පැමිණ ගගනගාමීන් තිදෙනා හමුවී, අතට අත දී ඔවුන්ට සුබ පැතූහ.

ඉවෙජීනී මික්රින් සහ දිමිත්‍රි රෝගෝසින් මොස්කව් සිට බයිකනූර් බලා පැමිණ සිටියේ රුසියානු රජයේ විශේෂ ජෙට් යානයකිනි. දිමිත්‍රි රෝගෝසින් මුහුණු ආවරණ පැලඳ සිටි නමුත්, ඉවෙජීනී මික්රින් මුහුණු ආවරණ පැලඳ සිටියේ නැත. රෝගෝසින් ද ගගනගාමීන් හමුවෙද්දී මුහුණු ආවරණ ඉවත් කරගෙන සිටින අයුරු මාධ්‍ය අනාවරණය කර තිබේ.

ඉකුත් සති අන්තයේ රුසියන් පුවත් සේවා වාර්තා කළේ ඉවෙජීනී මික්රින් කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇතැයි කියාය. අභ්‍යවකාශ නැවැතුම්පොළට ගොස් සිටින ගගනගාමීන් තිදෙනා ගැන බියක් හටගෙන ඇත්තේ ඒ නිසාය. මෙම තිදෙනා අභ්‍යවකාශ නැවැතුම්පොළට යෑමත් සමඟ මාස ගණනාවක් එහි නැවැතී සිටි ඇමෙරිකන් නාසා ගගනගාමීනී ජෙසිකා මියර් සහ ඇන්ඩෲ මෝගන් පමණක් නොව, රුසියන් ගගනගාමී ඔල්ගා ස්ක්‍රිපොෂ්කා සෝයූස් කැප්සියුලයේ අධාරයෙන් පෘථිවියට පැමිණියහ. ඒ, පසුගිය අප්‍රේල් 17 වැනිදාය.

පෘථිවියට පැමිණි තිදෙනා පිළිගැනීමට වෛද්‍ය කණ්ඩායමක් ද මුහුණු ආවරණය කරගෙන පැමිණ සිටි බව පැවැසෙයි. තිදෙනා දින කීපයක් නිරෝධායනයට ලක් කරන බව ද පැවැසෙයි. තමන් පැමිණෙද්දී පෘථිවිය වයිරස වසංගතය හේතුවෙන් වෙනස් වී ඇති බව නාසා ගගනගාමිනිය ජෙසිකා මියර් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියාය.

සාමාන්‍යයෙන් අභ්‍යවකාශ නැවැතුම්පොළ් මාස හයෙන් 6 ට ගගනගමීහු මාරුවෙන් මාරුවට රැඳී සිටිති. ගගනගාමීන් හය දෙනකුට එහි පහසුකම් ඇත. කෙසේ නමුත්, ‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තිය ද සැලකිල්ලට ගනිමින් මේ වනවිට අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිටින්නේ ඇනටෝලි ඉවන්ෂින්, ඉවාන් වැග්නර් සහ ක්‍රිස්ටෝපර් ජේ කැසඩි පමණය.

 


RECOMMEND POSTS