ඇමෙරිකාවේ දේවස්ථානයකට ප්‍රහාරයක්

ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ විල්සන් ප්‍රාන්තයේ සදර්ලන්ඞ් ස්ප්‍රිංග්ස් කුඩා නගරයේ ක්‍රිස්තියානි දේවස්ථානයකට කඩා වැදුණු තුවක්කුකරුවකු ඉවක්බවක් නැතිව කළ වෙඩි තැබීමකින් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 24 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කෙරුණාහ.
වෙඩි ප්‍රහාරය එල්ල වූයේ ඉරිදා දේව මෙහෙය පැවැත්වෙද්දීය. වෙඩි තබා බැතිමතුන් මරා දැමූ තුවක්කුකරු පසුව දිවි නසා ගත් බව පොලිසිය කියයි. වෙඩි තැබීම සිදුවී ඇත්තේ ඊයේ (5) උදෑසන 11.30 ට පමණය.
ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට්, මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ජනපදයේ සිදුවුණු දරුණුතම වෙඩි තැබීම මෙය කියාය. මියගිය පිරිස අතර අවුරුදු පහක් වයසැති දරුවන් පමණක් නොව, අවුරුදු 72 ක් වයසැති මහල්ලන් ද සිටින බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
තුවක්කුකරු කළු ඇඳුමින් සැරැසී සිටි බවත් ආයුධ සන්නද්ධ වී සිටි බවත් පැවැසෙයි. වෙඩික්කරු ඩෙවින් කෙලී නමැති 26 හැවිරිදි සුදු ජාතික ඇමෙරිකානුවකු බව පොලිසිය හඳුනා ගෙන ඇත.
කෙලී ද ටෙක්සාස් ජනපදයේ සැන් ඇන්තෝනියෝ පළාතේ නිව් බ්රන්ෆෙල්ස් හි පදිංචිව සිට ඇත. කෙලී ඇමෙරිකා ගුවන් හමුදා නිලධාරියකු බවත්, අකටයුතුකම් නිසා ගුවන් හමුදාවෙන් නෙරපා දැමුණු බවත් තහවුරු වී ඇත.
කෙලී වියරු වැටී වෙඩි තැබීම් කළේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැත. පරීක්ෂණ කටයුතු දිගටම සිදුවන බව එෆ්.බී.අයි. කාර්යාංශය කියයි.
(ඒ.එෆ්.පී.)

