ඇමෙරිකාවේ ජාතික හදිසි තත්ත්වයක්



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ජනපති ට්‍රම්ප් මෙසේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළේ ධවල මන්දිර ගෙවත්තේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදීය. එම අවස්ථාවට උප ජනාධිපති මයික් පෙන්ස් ඇතුළු ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීහු රැසක් සහභාගී වූහ.

ස්පර්ශයෙන් වයිරසය පැතිරෙන බැවින් අතටඅත දීම් කිරීමෙන් වැළැකී සිටින්නැයි කියමින් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම අවස්ථාවේදී පැමිණ සිටි කිහිප දෙනකුට අතට අතට දීම මාධ්‍යවේදීන්ගේ අවධානයට ලක් විය.

මේ වනවිට ඇමෙරිකාවෙන් ‘කෝවිඞ් 19’ ආසාදිතයන් 1,800 ක් හමුවී ඇති අතර මරණ 42 ක් වාර්තා වේ. වයිරසය මැඬලීමට ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) ඇමෙරිකන් ඩොලර් බිලියන 50 ක මුදලක් වෙන් කර තිබේ.

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ වයිරසය ඇමෙරිකාවේ ව්‍යාප්තවීම වැළැක්වීමට පියවර රැසක් අනුගමනය කරන බව ද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් සහ රජය වයිරසයට එරෙහිව ගෙන ඇති ක්‍රියා මාර්ග ගැන තමන්ට සතුටු විය නොහැකි බව බොහෝ ඇමෙරිකානුවන්ගේ අදහස වී තිබුණි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ එවැනි තත්ත්වයක් යටතේය.

ඒ අනුව, සුපිරි වෙළෙඳසැල්, අවන්හල් සහ ජනතාව ගැවසෙන ප්‍රසිද්ධ ස්ථාන රැසක කොරෝනා පරීක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවීම සිදුවෙයි. ඒවා හරහා වයිරසය ආසාදනය වී තිබේ ද නැද්ද යන්න සැකහැර දැනගත හැකි වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS