අගමැති ටෲඩෝට යළි ජනවරමක්



කැනඩා මහ මැතිවරණයෙන් වත්මන් අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්‍රමුඛ ඔහුගේ 'ලිබරල්' පක්ෂයට ජය හිමිවිය.

කැනඩා පාර්ලිමේන්තු ආසන 338 කින් සමන්විත වන අතර බහුතරය සඳහා ආසන 170 ක් දිනා ගැනීමට අවශ්‍යය. කෙසේ නමුත් 'ලිබරල්' පක්ෂය දිනා ගත්තේ ආසන 154 කට වඩා වැඩි ගණනක් පමණි. එසේ වුවත් හිතවාදී සෙසු පක්ෂ සමඟ එක් වී නව රජයක් පිහිටුවීමට 'ලිබරල්' පක්ෂය තීරණය කළේය. මීට පෙර පැවැතියේ ද බහුතර බලයක් නොමැතිව 'ලිබරල්' පක්ෂ රජයකි.

අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්‍රමුඛ 'ලිබරල්' පක්ෂයට, අභියෝග කිරීමට ප්‍රධාන විපක්ෂය වන 'කොන්සවර්ටිව්' පක්ෂය සමත් විය. 'කොන්සවර්ටිව්' පක්ෂ නායකයා මෙන්ම විපක්ෂ නායකයා ලෙස ද කටයුතු කරන්නේ එරින් ඕ ටූල්ය.

කැනඩාවේ මහ මැතිවරණයක් පැවැත්වීම සිදුවූයේ, මහ මැතිවරණය පැවැත්වීමට නියමිත දිනට වඩා වසර දෙකකට පෙරය. හදිසි මහ මැතිවරණයකට යන බව අග්‍රාමාත්‍ය ටෲඩෝ පැවැසුවේ පසුගිය අගෝස්තු මාසයේදීය. මැතිවරණය පැවැත්වූයේ 'කොවිඩ් 19' වසංගතය මධ්‍යයේය.

මෙය කැනඩාවේ 44 වැනි පාර්ලිමේන්තු මැතිවරණයයි. කැනඩා මැතිවරණ කොමිසමට අනුව, මිලියන 27 කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ.

(රොයිටර්)


RECOMMEND POSTS