69 වැනි ජනරජ දිනය සමරයි



ඉන්දියාව සිය 69 වැනි ජනරජ දිනය මහත් හරසරින් සැමරුවේය. මෙවර ජනරජ දිනයේ විශේෂත්වය වූයේ එහි ප්‍රධාන අමුත්තන් ලෙස අග්නි දිග ආසියානු රටවල් හෙවත් ‘ආසියාන්’ රටවල රාජ්‍ය නායකයෝ 10 දෙනෙක් ප්‍රධාන අමුත්තන් ලෙස ඊට සහභාගී වීමය.

ඉන්දීය ජනරජ දින සැමරුමට විදෙස් රාජ්‍ය නායකයන් 10 දෙනකු සහභාගී වුණු පළමු අවස්ථාව මෙය යැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි. සැමරුමට පැමිණියෝ තායිලන්තය, වියට්නාමය, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව, මියන්මාරය, කාම්බෝජය, ලාඕසය සහ බෘනෙයි යන රටවල රාජ්‍ය නායකයෝය.

ජනරජ දින සැමැරුම පැවැත්වූයේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බළකොටුව කේන්ද්‍රකොට ගනිමිනි. ඉන්දීය ආරක්ෂක අංශ ඔවුන්ගේ දස්කම් විස්කම් සහ බලය පෙන්වමින් රජරජ දින පෙලපාළියට එක් වූහ. ඉන්දීය යුද ටැංකි, මිසයිල විදින, ප්‍රහාරක ජෙට් යානා, හෙලිකොප්ටර් යානා ආදිය ද පෙලපාළියේ දී ප්‍රදර්ශනය කෙරුණි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් පමණක් නොව, ඉන්දීය රජයේ මැති ඇමැතිවරු, විපක්ෂ දේශපාලන පක්ෂ නායකයෝ සැමැරුමට පැමිණ සිටියහ. විශේෂ අමුත්තන් ලෙස සහභාගී වුණු විදෙස් රාජ්‍ය නායකයන් වෙනුවෙන් දැවැන්ත වෙඩි නොවදින අඩි 100 ක් පළල වීදුරු කුටියක් ද ඉදි කර තිබුණි.

ජනරජ දිනය නිමිත්තෙන් නවදිල්ලි අගනුවරට විශේෂ ආරක්ෂාවක් යොදා තිබුණි. ජනරජ දින සැමරුව අවසන් වනතුරු නවදිල්ලි ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපොළ වසා දැමුණු අතර, නවදිල්ලි රතු බලකොටුවට ඉහළින් ගුවන් සීමාව තහනම් කලාපයක් ලෙස නම් කර තිබුණි. සතුරු ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට මුහුණදීමට ආරක්ෂක අංශ සීරුවෙන් සිටි බව ද වාර්තා විය. ආරක්ෂාව සඳහා 60,000 ක පිරිසක් යොදවා තිබුණි.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS