4,000 ක් ළැව් ගින්නට කොටුවෙති



ළැව් ගිනි පැතිරීමත් සමඟ ඕස්ටේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ, මල්ලකූටා නගරයේ වැසියන් 4,000 ක් ඊට කොටුවුණු බව එරට පුවත් සේවා වාර්තා කළේය.

ළැව් ගිනි මල්ලකූටා නගරයට පැතිරෙද්දී, මහත් සේ බියට පත් වුණු නගර වැසියන් මුහුදු වෙරළ තීරයට යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ. ළැව් ගිනි දුමාරය හේතුවෙන් නගරයට ඉහළින් අහස තද රතු පැහැයක් ගත් බව ද වාර්තා විය. මල්ලකූටා නගරය පිහිටා අත්තේ ඕස්ටේලියාවේ පහළ කෙළවරේය.

ළැව් ගිනි දුමාරය හේතුවෙන් කුඩා දරුවන් මෙන්ම වයෝවෘද්ධ පුද්ගලයන් කිහිප දෙනකු රෝගී වූ බවත් ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බවත් වාර්තා විය. වෙරළ තීරයට කොටුවුණු පිරිස් සඳහා වෛද්‍ය ආධාර ලබා දීම සහ ආහාර ලබා දීම ඕස්ටේලියා නාවික හමුදාවේ මැදිහත් වීමෙන් සිදුවන බව වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීහු පවසති.

වියළි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ පමණක් නොව, ඕස්ටේලියාවේ ප්‍රාන්ත රැසක ළැව් ගිනි පැතිර යමින් පවතී. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ද ළැව් ගිනි උත්සන්න වී ඇතැයි පැවැසෙයි. ඕස්ටේලියා සමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 වඩා වැඩි බවත් එය වාර්තාගත ලෙස උෂ්ණත්වය ඉහළ යෑමක් බවත් කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

අධික උණුසුම් කාලගුණය ළැව් ගිනි පැතිර යෑම වේගවත් කරන බව ද පැවැසෙයි. ළැව් ගිනිවලට එරෙහිව ගිනි නිවන භටයන් දහස් ගණනක් සහ ස්වේච්ඡා ගිනි නිවන භටයන් සිය ගණනක් සටන් වදින බව ද පැවැසෙයි. ළැව් ගිනි හේතුවෙන් මෙන්ම උෂ්ණත්වය ඉහළ යෑම සම්බන්ධයෙන් ද ඕස්ටේලියාවේ හදසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ළැව් ගිනි හේතුවෙන් හෙක්ටයාර් දහස් ගණනක් මෙන්ම ඕස්ටේලියාවට ආවේණික කෝලා වළසුන්, කැංගරුවන් ආදී සතුන් රැසක් පිළිස්සී මියගොස් ඇති බව ද වාර්තා වේ. ළැව් ගිනි හේතුවෙන් ගිනි නිවන භටයන් දෙදෙනකු ඇතුළු 12 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව ද වාර්තා වේ. තවත 15 දෙනකු පමණ අතුරුදන්ව බවත්, ඔවුන් මිය යන්න ඇති බවත් අනුමාන කෙරේ.

මැලකූටා (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS