සුනාමි අවදානම දිගටම

ඉන්දුනීසියාවේ ‘අනාක්’ගිනි කන්ද සක්‍රීය වී පුපුරා යෑමත් සමඟ හටගත් සුනාමි අවදානම තවමත් පහව ගොස් නැතැයි ඉන්දුනීසියා බලධාරීහු අනතුරු අඟවති.
‘අනාක්’ ගිනි කන්ද සක්‍රීය වී පුපුරා යෑම සිදුවූයේ 23 රාත්‍රියේය. ගිනිකන්ද පුපුරා යද්දී, මුහුද පතුලේ නායයයෑම් හටගත්තේය. එම නායයෑම් හේතුවෙන් මුහුද කැලැඹී සුනාමි රළ නිර්මාණය විය. එම රළ ඉන්දුනීසියාවේ වෙරළාශිත නගරවලට කඩා වැදුණේ පෙර දැනුම්දීමකින් තොරවය.
ගිනි කන්ද තව දුරටත් පුපුරා යමින් පවතින හෙයින්, සුනාමි අවදානම තවමත් පවතින බවත් අනාරක්ෂිත ස්ථානවල පදිංචි වැසියන් කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කළ බවත් ඉන්දුනීසියා රජය පවසා ඇත. ජනතාව ඉවත් කිරීම, විපතට පත්වූවන්ට සහාය දීමට මෙන්ම අවතැන්වූවන්ට අවශ්‍ය පහසුකම් සැපැයීමට හමුදාව යොදවා ඇතැයි ඉන්දුනීසියා රජය පවසා ඇත.
ගිනි කන්ද පුපුරා යද්දී සිදුවුණු නායයෑම් හේතුවෙන්, සුනාමි රළ කඩා වැදුණේ සුන්ඩා සමුද්‍ර සන්ධිය අවට පිහිටි නගරවලටය. සුන්ඩා සමුද්‍ර සන්ධිය ඇත්තේ ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා යා කරමින් ජාවා මුහුදේ සිට ඉන්දීය සාගරය දක්වාය.

රාත්‍රියේ හටගත් සුනාමිය සම්බන්ධයෙන් කල්තියා අනතුරු ඇඟවීමට නොහැකි විය. එහෙයින් සුනාමි රළ පහරට හසුවුණු 281 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 843 කි. තවත් 28 දෙනකු අතුරුදන් බව පැවැසෙයි.
සුනාමියට හසුවුණු පිරිස අතර ලායක කණ්ඩායමක සාමාජික සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුලේ අය ද සිටින බව පැවැසෙයි. ගායක කණ්ඩායම ගීත ගායනා කරමින් සිටිද්දී සුනාමි රළ එතැනට කඩා පාත් වන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පවා මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.
සුනාමි රළ හට ගන්නේ මුහුදේ සිදුවන කැළැඹීමක් හේතුවෙනි. භූමි කම්පාවක්, මුහුදු පතුලේ ගිනි කඳු පිපිරීමක් හෝ නායයෑමක් නිසා හෝ සුනාමි රළ හට ගනී. භූමි කම්පා හේතුවෙන් හටගන්නා සුනාමි රළ පිළිබඳ කල්තියා අනතුරු ඇඟවීම කළ හැකි අතර, ඉන්දුනීසියාවේ සුනාමි අනතුරු ඇඟවීමේ ඒකක රැසක් ද පිහිටුවා ඇත. 2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා ශ්‍රී ලංකාවකට බලපෑමක් කළ සුනාමිය නිර්මාණය වූයේ ඉන්දුනීසියාවට නුදුරින් සිදුවුණු රික්ටර් පරිමාණයේ ඒකක 9.8 ක් සටහන් කළ අති ප්‍රබල භූමි කම්පාවකිනි.

ඉන්දුනීසියාව භූ තැටි මායිමකට ඉහළින් පිහිටි දූපත් රාජ්‍යයකි. එහෙයින් භූමි කම්පා ඇතිවීම ස්වභාවිකය. ඉන්දුනීසියාවට අයත් දූපත් බොහොමයක් යහමල් (ගිනිකඳු පිහිටි) දූපත් වන අතර සක්‍රීය යමහල් රැසක් ඉන්දුනීසියා දූපත් පුරා දකින්න ලැබේ.
(ඒ.එෆ්.පී.)

