සතුන්ට පෙනෙන හැටි



පෙනීම යනු ආලෝකය, ඇස් සහ මොළය එකට ක්‍රියා කරන ක්‍රියාවලියකි. අපට යම්කිසි වස්තුවක් පෙනීමට නම්, එයින් ආලෝකය අපේ ඇසට පැමිණිය යුතුය. වස්තුවක් ස්වාභාවික ආලෝකයෙන් (උදා: සූර්යයා) හෝ කෘත්‍රිම ආලෝකයෙන් (උදා: විදුලි බුබුල) ආලෝකමත් වූ විට, එම ආලෝකය වස්තුව මත වැදී පරාවර්තනය වී හෝ විනිවිද ගොස් අපේ ඇස වෙතට ගමන් කරයි. පිටතින් එන ආලෝකය කුණීතය නම් ඇසේ ඉදිරිපස ඇති විනිවිද පෙනෙන ස්ථරය හරහා ඇතුළු වෙයි. ඉන්පසු එය කළුඉංගිරියාව නමැති ඇසේ මැද ඇති කළු කුහරය හරහා ගමන් කරයි. අවට ඇති ආලෝක ප්‍රමාණය අනුව  කුඩා හෝ විශාල වෙයි. ආලෝකය අඩු නම් එය විශාල වී වැඩි ආලෝකයක් ඇතුළු කර ගනී. ආලෝකය වැඩි නම් එය කුඩා වී ආලෝකය සීමා කරයි.

ඉන්පසු ආලෝකය, කාචය හරහා ගමන් කරයි. මෙම කාචය ආලෝකය නාභිගත කරන්නේ ඇසේ පිටුපස ඇති දෘෂ්ටි විතානය නම් ස්තරය මතටය. දෘෂ්ටි විතානය මත, ලැබෙන ආලෝක කිරණ එකතු වී උඩු යටිකුරු වූ කුඩා රූපයක් සෑදෙයි. මෙම දෘෂ්ටි විතානය සෛල වර්ග දෙකකින් සමන්විතය. කේතු සෛල ආලෝකයේ වර්ණ හඳුනා ගැනීමට උපකාරී වෙයි. දඬු සෛල මේවා අඳුරේදී පෙනීමට සහ චලනය හඳුනා ගැනීමට උපකාරී වෙයි. දෘෂ්ටි විතානයේ ඇති මෙම සෛල, ආලෝකය විද්‍යුත් සංඥා බවට පත් කරයි. මෙම විද්‍යුත් සංඥා, දෘෂ්ටි ස්නායුව ඔස්සේ මොළයේ ඇති දෘෂ්‍ය බාහිකය නම් කොටසට යැවෙයි. ඒ කොටසේ දී දෘෂ්ටි ස්නායුවෙන් ලැබෙන සංඥා සැකසීම මගින් එය නැවත නිවැරදි රූපයක් බවට පත් කරයි. අපට ලෝකය පෙනෙන්නේ මොළයේ මෙම ක්‍රියාවලිය නිසාය. අප ඇස්වලින් ලෝකය දකින විදිය ගැන සරලව පැහැදිලි කළානේ. දැන් අපි යමු අපේ මාතෘකාවට. අපට ලෝකය පෙනෙන විදියයි, සතුන්ට ලෝකය පෙනෙන විදියයි වෙනස් බව ඔබ දන්නවාද? මේ කියන්න හදන්නේ සතුන් උන්ගේ ඇස්වලින් ලෝකය දකින විදිය ගැනයි.

මුලින්ම අප සර්පයන් ගැන කතා කරමු. සර්පයන්ට පෙනෙන විදියයි; අපට පෙනෙන විදියයි සම්පූර්ණයෙන්ම වෙනස්ය. සර්පයන්ගේ ඇස් සහ නාස් කුහර අතරේ අධෝරක්ත කිරණ (තාපය) හඳුනාගැනීමට හැකි විශේෂිත සංවේදී කොටසක් ඇත. සර්පයන්ට ක්ෂීරපායීන් (මීයන් වැනි) පහසුවෙන් ගොදුරු කර ගැනීමට හැකිවෙයි. ඒ, සර්පයන්ට එම සතුන්ගේ සිරුරු පෙනෙන්නේ එම සිරුරුවලින් පිටවන උණුසුමෙනි.

ගවයන්ගේ පෙනීම කොසේද? ගවයන්ට අපට මෙන් වර්ණ පැහැදිලිව පෙනෙන්නේ නැත. ඔබ ස්පාඤ්ඤයේ ගෙං පොර දැක ඇත. එහිදී රතුපාට රෙදි කැබැල්ලක් වනමින්‍ ගවයින් කුලප්පු කරනු දැක ඇත. ඒත්, ඔබ දන්නවාද? ගවයන්ට රතු වර්ණය පෙනෙන්නේ නැත. එසේ නම් රතු වර්ණය දුටු විට ගවයන් කුලප්පු වීම බොරුවකි. ගවයන්ට රතු වර්ණය දකින්න නොලැබෙන්නේ ගවයන්ට උන්ගේ දෘෂ්ටි විතානයේ ඊට අවශ්‍ය ප්‍රතිග්‍රාහක නොමැති වීමය. එනිසා ගවයන්ට පෙනෙන්නේ නිල් සහ කොළ වර්ණයන්ගේ විවිධ වර්ණ වර්ග පමණි. ගවයන් සර්වදෘෂ්ටික දර්ශනයක් ඇති සතුන්ය. සර්වදෘෂ්ටික දර්ශනයක් ඇති සතුන් යනු හිස නොහරවාම පුළුල් පරාසයකට විහිදුණු දර්ශන පථයක් දැකීමේ හැකියාව ඇති සතුන්ය. සාමාන්‍යයෙන් අපට ඉදිරියෙන් ඇති දේ පමණක් හොඳින් පෙනුණත්, සර්වදෘෂ්ටික දර්ශනයක් ඇති සතුන්ට පැත්තෙන් ඇති දේ පවා පැහැදිලිව පෙනෙයි.

අශ්වයන්ගේ ඇස් පිහිටා ඇති ආකාරය අනුව, උන්ට කෙළින්ම ඉදිරියෙන් ඇති දේ දකින්න ලැබෙන්නේ නැත. එමෙන්ම, අශ්වයන්ට ද අපට මෙන් වර්ණ රැසක් පෙනෙන්නේ නැත. තුරග තරගවලදී සහ අශ්ව කරත්තවලට අශ්වයන් සම්බන්ධ කරද්දී, අශ්වයන්ට පැහැදිලිව ඉදිරියේ ඇති දේ පමණක් දකින්නට හැකි වන ආකාරයට ඇස් අසල ආවරණ යෙදීම සිදු කරයි. අශ්වයන්ට පෙනෙන්නේ ද නිල්, කොළ සහ කහ වර්ණ පමණි.

පාරජම්බුල කිරණ හඳුනාගැනීමට හැකි ආකාරයේ විශේෂිත සංවේදී කොටස් මාළුන්ගේ ඇස්වලට සම්බන්ධව පවතී. මාළුන්ගේ ඇස්වල කාච ගෝලාකාරය. ඒ නිසා මාළුන්ට අංශක 360 ක පෙනීමක් ලැබෙයි. මාළුන්ට පෙනෙන වර්ණ ගැන කතා කරනවා නම්, විද්‍යාඥයන් පැහැදිලි කරන්නේ අප මනුෂ්‍යයන්ට දැකිය හැකි සියලුම වර්ණ මාළුන් බොහෝ දෙනෙකුට ද පෙනෙන බවය. මුහුදේ ගැඹුරට යන්න යන්න වැටෙන හිරු එළිය අඩුවෙයි. ඇතැම් මාළුවන්ට අඳුරට ද ඇස් පෙනෙයි. මෝරුන්ට වර්ණ පෙනෙන්නේ නැත. එසේ වුවත්, වතුර යටදී අපට පෙනෙනවට වඩා හොඳින් පැහැදිලිව මෝරුන්ට පෙනෙන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.‍

කුරුල්ලන්ට ලෝකය පෙනෙන විදිය හරිම අපූරුය. මනුෂ්‍ය අපට මෙන් නොව, කුරුල්ලන්ට පාරජම්බුල කිරණ දැකීමට හැකියාව ඇත. කුරුල්ලන් තම වර්ගයේ ගැහැනු සතුන් පිරිමි සතුන් පැහැදිලිව හඳුනා ගැනීම කරන්නේ ද එලෙසිනි. එපමණක් නොවෙයි; තමන්ට අයත් වටපිටාවේ පියාසර කිරීමට ද මෙම පෙනීම උදවු වෙයි. උකුස්සා, රාජාලියා සහ කුරුලුගොයා පහසුවෙන් නිවැරදි ඉලක්කය සොයා ගොදුරු අල්ලා ගන්නේ ද උන්ගේ පෙනීමේ ඇති සුවිශේෂී හැකියාව නිසාය. තණ පිටියක සිටින මීයකු සැතපුම්ක් පමණ දුර සිට දැක ගැනීමට ඔවුනට හැකිය. පරෙවියන්ට පුංචි සියුම් දේවල් පවා පහසුවෙන් දැක ගැනීමට හැකිය. මාර්ගයේ ඇති ඇසට පෙනෙන නොපෙනෙන සිදුරු පවා පරෙවියන්ට පැහැදිලිව පෙනෙයි. පරෙවියන්ගේ පෙනීම අංශක 340 කි. එපමණක් නොවෙයි; මනුෂ්‍ය අපගේ පෙනීම මෙන් දෙගුණයකින් වැඩිය.

කෘමි සතුන්ගේ ඇස් පෙනීම පුදුමාකාරය. මැස්සන්ට ඇත්තේ එක ඇසක් නොවෙයි. මැස්සන්ට ඇත්තේ පුංචි පුංචි ඇස් පොකුරකින් සමත්විත වූ එක් සංකීර්ණ ඇසකි. මනුෂ්‍ය අපට මෙන් නොවෙයි; අපට වඩා හොඳින් ලෝකය දකින්න මැස්සන්ට හැකියාව ඇත. මැස්සන්ට සියලු දේ පෙනෙන්නේ ‘ස්ලෝ මෝෂන්‘ නැතිනම් මන්දගාමීවය. අධෝරක්ත කිරණ දැක ගැනීමට පවා මැස්සන්ට හැකිවෙයි. මැස්සන් එකිනෙකා සමඟ සන්නිවේදනය කර ගැනීමට මෙය උපකාරී වෙයි. මී මැස්සන්ට රතු වර්ණය පෙනෙන්නේ නැත. මී මැස්සන්ට රතු වර්ණය පෙනෙන්නේ තද නිල් පැහැයකිනි.

මීයන්ට පවා රතු වර්ණය පෙනෙන්නේ නැත. ඒත් අමුතු කතාව එය නොවෙයි. මීයන්ගේ ඇස් දෙක එකවර පැහැදිලිව ක්‍රියාත්මක වන්නේ නැහැ. එබැවින්, මීයන්ට පෙනෙන්නේ එක දෙක වෙමිනි.

බළලුන්ට රතු හෝ කොළ වර්ණ පෙනෙන්නේ නැත. උන්ට පෙනෙන්නේ දුඹුරු, කහ සහ නිල් යන වර්ණය. ඊට අමතරව, පුළුල් දසුන් පරාසයක් දැක ගැනීමට බළලුන්ට මෙන්ම බල්ලන්ට ද හැකියාව ඇත. තිත්ත කරුවලක් ඇති විට, බළලුන්ට අපට වඩා හය ගුණයක් හොඳින් පෙනෙයි. බළලුන්ගේ කළු ඉංගිරියාව සියුම් ආලෝකය පවා උරා ගැනීමට වෙනස් වෙයි. බලු සුරතලුන්ට රතු හෝ තැඹිලි වර්ණ පෙනෙන්නේ නැත. බලු සුරතලුන්ට නිල් සහ දම් පාට පෙනෙයි.

ගෙම්බන්ගේ පෙනීම ගැන කතා කරනවා නම්, ගෙම්බන්ගේ පෙනීම දුර්වලය. ඔබ ගෙම්බාකුගේ ගොදුරක් වන පුංචි පලගැටියකු හෝ සමනලයකු කියා සිතන්න. ඔබ නොසෙල්වී සිටියොත්, ගෙම්බාට ඔබව පෙනෙන්නේ නැත. ගෙම්බාගේ ආහාරය වන්නේ චලනය වන දේ පමණි. කෘමි සතුන් රොත්ත බුරුත්තක් මැද සිටියත්, ඒ එක කෘමියකු සෙලවෙන්නේ නැතිනම්, ගෙම්බාට ඒ එක සතකුවත් පෙනෙන්නේ නැත.

කටුස්සන්ගේ ඇස් ක්‍රියාත්මක වන්නේ එකිනෙකට සම්පූර්ණ වෙනස් විදියටය. වම් ඇසින් පෙනෙන දර්ශනය නොව, දකුණු ඇසින් පෙනෙන්නේ වෙනස්ම විදියේ දර්ශනයකි. හිස හරවන්නේ නැතිව, ඇස් පමණක් කරකවා බලමින් වටපිට සියලු දේ පැහැදිලිව දැකීමට හැකිවෙයි. එකම වේලාවේ, රූප දෙකක් නැරඹීමට කටුස්සන්ට පුළුවනි. හරිම ඇපූරුයි නේද?

ලයිව් සයන්ස් ඇසුරිනි


RECOMMEND POSTS