විපතට පත්වූවන් මුදා ගැනීම දිගටම



ලාඕසයේ අටාපියෝ පළාතේ වේල්ල කැඩී යෑමෙන් විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත්, අසල්වැසි රටවල සහන සේවකයන්ගේත් හමුදා සෙබළුන්ගේත් සහාය ඊට ලබා ගන්නා බවත් ලාඕසයේ රජය කියයි.

වේල්ල කැඩී ගියේ අධික වර්ෂාව හේතුවෙන්, වේල්ල ඉරි තලා යෑමෙනි. ඉරිතලා කැඩී ගියේ සේ පියැන් සේ නෙමෝයි නමැති වේල්ලය. වේල්ල ඉදි කරමින් තිබුණේ ජල විදුලි බලාගාරයක් වෙනුවෙනි. වේල්ල සහ විදුලි බලාගාරය ඉදි කෙරැණේ දකුණු කොරියාව සහ තායිලන්තය ව්‍යාපෘතියක් යටතේය.

වේල්ල 2013 වසරේ සිට ඉදිකරමින් පැවැති බවත්, එය මෙම 2018 වසරේ දී විවෘත කිරීමට නියමිතව පැවැති බවත් වාර්තා වේ.

අධික වැසි හේතුවෙන් වේල්ල ඉරිතලා පුපුරා යෑම් අවදානමක් පෙන්නුම් කළේ පසුගිය 22 වැනිදාය. එය පිළිසකර කිරීමට උත්සාහ ගත් නමුත් අසාර්ථක වී ඇත. වේල්ල කැඩී යෑමේ අවදානමක් පවතින බව ලාඕස රජය වේල්ල අවට ගම්වැසියන්ට අනතුරැ ඇගවීම් කළ නමුත් එය ප්‍රමාද වූ බව ද එරට පුවත් සේවා වාර්තා කරයි.

වේල්ල කැඩී යෑමෙන් නිකුත් වූ ප්‍රචණ්ඩ මහා ජල කඳට හසුවීමෙන් ගම්මාන 6 ක් මුළුමනින්ම යටවී ගියේය. වගා බිම් දහස් ගණනක් විනාශ විය. වයෝවෘද්ධ ගම්වැසියන් මෙන්ම කුඩා දරැවන් ද සැඬ පහරට ගසාගෙන ගොස් ඇති බව පැවැසෙයි. ජල පහරට හසුවීමෙන් මියගිය ගණන 100 ට වැඩි යැයි මාධ්‍ය වාර්තා මුලින් සඳහන් කළත්, පසුව වාර්තා වූයේ මියගිය ගණන 20 ක් පමණක් කියාය.

සැඬ ජල පහරහට හසුවී, නිවෙස්වල වහල මතට නැග පණ බේරා ගැනීමට සමත් වුණු පිරිස් බේරා ගැනීම පමණක් නොව, ඔවුන්ට අවශ්‍ය සහනාධාර ලබා දීම ද විදෙස් සහන සේවා නිලධාරීන්ගේත්, හමුදා සොල්දාදුවන්ගේත් මැදිහත්වීමෙන් සිදුවුණැයි ද ලාඕස රජය වැඩි දුරටත් කියා සිටී. ලාඕසය වනු අග්නිදිග ආසියාවට අයත් රාජ්‍යයකි. එය මායිම් වන්නේ මියන්මාරයට, තායිලන්තයට සහ වියට්නාමයටය.


RECOMMEND POSTS