පුදුමයක්: ෆ්ලයි ගීසරය



අප බොහෝ විට විශ්වයේ පිටසක්වළ ග්‍රහ මණ්ඩලවලට නෙත් යොමු කරන්නේ ඒවායේ ඇතැයි අනුමාන කරන අද්භූත හා විශ්මයජනක දසුන් දැකීමේ ආසාවෙනි. හරි අපූරු තැන් දැකීමේ ආසාවෙනි. පිටසක්වළ ලෝකවල ඇතැයි විද්‍යා ප්‍රබන්ධවලින්, විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන්වලින් දකින්න ලැබෙන හරි අපූරු තැන්වලට සමාන ආකාරයේ විවිධත්වයෙන් පිරි භූ දර්ශන, භූ පිහිටීම්, ගස් වර්ග අප මිහිමත ඇතැයි කීවොත් ඔබ පුදුම වෙනවාද? පුදුම වෙන්න දෙයක් නැහැ. එවැනි තැන් කීපයක් මිහිමත දකින්න ලැබේ. ඒවා දකිද්දී අපට සිතෙන්නේ අප පිටසක්වළ ලෝකයකට ගියා හා සමාන හැඟීමකි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ජනපදයේ වාෂූ (Washoe) ප්‍රාන්තයේ, ගර්ලැච් (Gerlach) නගරයට සැතපුම් 20ක් පමණ උතුරින් පිහිටා ඇති ෆ්ලයි ගීසරය (Fly Geyser) ද එවැනි විස්මිත භූ පිහිටිමකි. ගීසරයක් යනුවෙන් හැඳින්වෙන්නේ උණු දිය උල්පතකි. භූතාප උලපත් යනුවෙන් ද මේවා හැඳින්වෙයි. ෆ්ලයි ගීසරය ස්වභාවික නිර්මාණයක් වුවත්, මෙම නිර්මාණය පසුපස මිනිස් ක්‍රියාකාරකම් ඇත. තවත් පැහැදිලි කළොත්, ෆ්ලයි ගීසරය යනු මිනිස් ක්‍රියාකාරකම් සහ ස්වභාවධර්මයේ අන්තර්ක්‍රියාවෙන් බිහි වූ සුවිශේෂී භූතාප උල්පතකි. මෙය ලොව පුරා සංචාරකයන්ගේ අවධානය දිනාගත්, දේදුන්නක වර්ණ මෙන් විචිත්‍රවත් දසුනක් මවන පුදුම සහගත ස්ථානයකි. මෙය ෆ්ලයි රෑන්ච් ගීසර් (Fly Ranch Geyser) ලෙස ද හැඳින්වෙයි.

ෆ්ලයි ගීසරය, වසර දහස් ගණනක් පැරණි ස්වභාවික උල්පතක් නොවේ. එහි ආරම්භය සිදුවන්නේ 1916 වසරේදීය. ඒ, ප්‍රදේශවාසීන් විසින් ගොවිතැන් කටයුතු සඳහා ජලය සෙවීමේ අරමුණින් ළිඳක් කැපීමත් සමඟය. ඔවුන් බලාපොරොත්තු නොවූ ලෙස, භූගතව තිබූ නටන උෂ්ණත්වයට ආසන්න උණුසුම් භූතාප ජල ප්‍රභවයක් ඉහළට විදීමට පටන් ගැනුණි. කෘෂිකාර්මික කටයුතු සඳහා මෙම අධික උෂ්ණත්වයෙන් යුත් ජලය නුසුදුසු වූ බැවින්, එම ළිඳ අත්හැර දමන ලදී. කල්යත්ම, මෙම ජලයේ දියවී තිබූ කැල්සියම් කාබනේට් වැනි ඛනිජ ලවණ තැන්පත් වීමෙන්, අඩි 10-12 ක් පමණ උසැති කේතුකාකාර ආකෘතියක් නිර්මාණය විය. එය ස්වභාවිකව සිදුවුණු දෙයකි.

අද අප දකින විශාල මෙන්ම වර්ණවත් ගීසරය නිර්මාණය වූයේ 1964 වසරේදීය. ඒ, ඇමෙරිකන් භූතාප බලශක්ති සමාගමක් විසින් මුල් ස්ථානය ආසන්නයේම දෙවන පරීක්ෂණ ළිඳක් කැණීම් කරන විටදීය. මෙම ජලය ද ඔවුන්ගේ බලශක්ති අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් තරම් උණුසුම් නොවූ අතර, ඔවුන් එම ළිඳ මුද්‍රා තැබීමට (වසා දැමීමට) උත්සාහ කළ ද එය අසාර්ථක විය. එම අසාර්ථකත්වය හේතුවෙන් උණුසුම් ජලය බලයෙන් පිටතට ගලා ඒමට පටන් ගැනුණි. මෙම නව උල්පතේ පීඩනය නිසා මුල් උල්පත ක්‍රියා විරහිත විය.

නව ගීසරයෙන් නිරන්තරයෙන් පිටවන ජලයේ දියවී තිබූ සිලිකා සහ කැල්සියම් කාබනේට් වැනි ඛනිජ ලවණ තැන්පත් වීම හේතුවෙන් වසර ගණනාවක් පුරා විශාල කන්දක් සහ ඒ මත බහු කේතුකාකාර විවරයන් නිර්මාණය විය. මෙම කේතු (cones) අඩි 6 ක් පමණ උස වන අතර, සමස්ත කන්දම අඩි 25 ත් 30 ත් අතර උසකින් යුක්ත වෙයි. ගීසරයෙන් නිරන්තරයෙන් උණුසුම් ජලය අඩි 5 ක් පමණ ඉහළට විදිනු ලබයි.

මෙම ගීසරය සහ ඒ අවට ඇති තටාකවල වඩාත්ම සිත් ඇදගන්නාසුළු ලක්ෂණය වන්නේ එහි වර්ණවත් පෙනුමය. මෙම විචිත්‍රවත් වර්ණ ඇතිවීමට හේතුව, ජලයේ ඇති ඛනිජ ලවණ තැන්පතු සමඟින්, උණුසුම්, තෙතමනය සහිත පරිසරයන්හි වැඩෙන තාපයට ඇලුම් කරන ඇල්ගී (Thermophilic Algae) සහ අනෙකුත් ක්ෂුද්‍ර ජීවීන් ය. මෙම ක්ෂුද්‍ර ජීවීන්ගේ විවිධ වර්ණ (කොළ, රතු, කහ වැනි) නිසා උල්පතට සහ අවට ඇති ගලා යන ජලය සහිත බෑවුම්වලට දේදුන්නක පැහැය ගෙන ඇත.

ෆ්ලයි ගීසරය පිහිටා ඇත්තේ ගීසරය රෑන්ච් නමැති ගොවිපොල අයත් පෞද්ගලික ඉඩමක ය. 2016 දී, ලාභ නොලබන සංවිධානයක් වන බර්නිං මෑන් ප්‍රොජෙක්ට් (Burning Man Project) විසින් මෙම භූමිය මිල දී ගනු ලැබුණි. අද වනවිට මෙම සංවිධානය විසින් ෆ්ලයි ගීසරය ඇතුළු සම්පූර්ණ පරිසර පද්ධතියම සංරක්ෂණය කරනු ලබයි.

මෙම උල්පත පෞද්ගලික ඉඩමක පිහිටා ඇති බැවින්, සාමාන්‍යයෙන් ඕනෑම වේලාවක එය නැරඹීමට නොහැකිය. කෙසේ වෙතත්, විවිධ සමාජ සහ සංවිධාන මගින් වසන්ත, ගිම්හාන සහ සරත් සෘතුවලදී සති අන්තවලදී මාර්ගෝපදේශ සහිත ස්වභාවික සංවිධානය කරනු ලබයි. ඒ, ගීසරය නැරැඹීමට යෑම සඳහාය. ඒ අනුව, සංචාරකයන්ට ෆ්ලයි ගීසරයේ විස්මිත සුන්දරත්වය සමීපව අත්විඳීමට හැකියාව ලැබෙයි.

ලයිව් සයන්ස් ඇසුරිනි


RECOMMEND POSTS