පිලිපීනයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය



පිලිපීනයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ශෝභිනි ගුණසේකර මහත්මිය මැනිලා නුවර මලකචාන් මාලිගයේදී ඉකුත් දා (4) පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටාටේ මහතාට අක්ත්‍රපත්‍ර බාර දුන්නාය.

අක්තපත්‍ර බාර දීමට පෙර ගුණසේකර මහත්මිය පිලිපීනයේ ‘රිසාල් උද්‍යානයේ’ පිහිටි එරට ජාතික වීරයකු වන වෛද්‍ය හොසේ රිසාල්ගේ ස්මාරයකට පුෂ්පෝපහාර දැක්වූ අතර ඉන් අනතුරුව මලකචාන් මාලිගයේදී ඇය පිළිගැනීම සඳහා ත්‍රිවිධ හමුදා උත්තමාචාර පැවැත්විණි.

අක්තපත්‍ර බාරදීමෙන් අනතුරුව තානාපතිනි ශෝභිනි ගුණසේකර මහත්මිය සහ ජනාධිපති ඩුටාටේ අතර පෞද්ගලික සාකච්ඡාවක් පැවැත්විණි. එහිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් තානාපතිවරිය පිලිපීන ජනාධිපතිවරියට සුබ පැතුම් එක් කළාය.

පිලිපීනය නැගී එන වෙළෙඳපොළක් බවත් වෙළෙඳාම, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රවලින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් ලැබෙන බවත් ගුණසේකර මහත්මිය එහිදි සඳහන් කර ඇත. ව්‍යාපාර සඳහා දෙරටේම පෞද්ගලික අංශ කෙරෙහි දැඩි උනන්දුවක් තිබෙන බව ද එම මහත්මිය පෙන්වා දී තිබේ.

ශෝභිනි ගුණසේකර මහත්මිය 1998 වසරේදී ශ්‍රී ලංකා විදේශ සේවයට එක්වූ අතර මැනිලා නුවරට පත්වීම් ලැබීමට පෙර ඇය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නෛතික අංශයේ සහ එක්සත් ජාතීන්ගේ අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුර හෙබවූවාය. ඊට පෙර ඇය ආර්ථික කටයුතු සහ යුරෝපා සංගම් යන අංශවලත් පොදු රාජ්‍ය මණ්ඩලයීය සහ බහුපාර්ශවීය ප්‍රඥප්ති යන අංශවලද අධ්‍යක්ෂ ජෙනරාල් ධුර හෙබවූවාය.

ගුණසේකර මහත්මිය 2014 වසරේ 2017 වසර දක්වා පැරිසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල දූත පිරිසේ නියෝජ්‍ය ප්‍රධානී වශයෙන් කටයුතු කළ අතර බෙල්ජියමේ සහ චීන තානාපති කාර්යාවල ද තනතුරු හෙබවූවාය.

කොළඹ විශ්ව විද්‍යාලයෙන් වාණිජ විද්‍යා උපාධිය හිමිකරගත් ගුණසේකර මහත්මිය 1994 වසරේදී නීතිඥවරියක ලෙස දිවුරුම් දුන්නාය. ඇය කොළඹ මියුසියස් විද්‍යාලයේ ආදි සිසුවියකි.

මේ අතර පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ශෝභිනි ගුණසේකර මහත්මිය පත් කර ඇත්තේ අති විශේෂ පූර්ණ බලැති තානාපතිවරියක ලෙස යැයි ද විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි.


RECOMMEND POSTS