පාප්තුමෝ මොරොක්කෝවේ



ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ ඊයේ (31) මුස්ලිම් රාජ්‍යයක් වන මොරොක්කෝව බලා පැමිණි අතර, මොරොක්කෝ 6 වැනි මොහොද් රජුගෙන් එතුමන්ට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.

පාප්තුමන්ට මොරොක්කෝවට පැමිණෙන්නැයි ඇරැයුම් කළේ ද 6 වැනි මොහොද් රජුය. ඒ, මොරොක්කෝවේ, ආගමික සහජීවනයක් ඇති කිරීම වෙනුවෙන් කථිකාවතක් පැවැත්වීම සඳහාය. පාප්තුමන් එම ඇරැයුම ඉතා සතුටින් පිළිගත් බව වතිකාන පුවත් සේවා පවසා ඇත.

පාප්තුමන්ගේ පැමිණීම නිමිත්තෙන්, රබාත් අගනුවර ගොඩනැගිලි වර්ණ ගන්වා අලංකාර තිබුණි. පාප්තුමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබුණි. පාප්තුමකු මොරොක්කෝවට පැමිණි දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර, 1985 දී දෙවැනි ජෝන් පෝල් පාප්තුමෝ මොරොක්කෝවට පැමිණියහ.

පාප්තුමන් සුපුරුදු පරිදි සිය රථයේ නැගී ජනතාවට අතවනමින් ඔවුන්ට ආශිර්වාද කරමින් රබාත් වීදි සංචාරය කළ අතර, එතුමන් දැක බලා ගැනීමට මඟ දෙපස රැස් වූ පිරිස 15,000 කට වැඩිය.

මොරොක්කෝව යනු උතුරු අප්‍රිකාවේ සුන්නි මුස්ලිම් රාජ්‍යයකි. මොරොක්කෝවේ ඒකීය පාර්ලිමේන්තු ක්‍රමයක් පවතී. අගමැතිවරයා සාදීද්දීන් ඔතාමානීය. අත්ලාන්තික් සාගරයටත් මධ්‍යධරණී මුහුදටත් මොරොක්කෝව මායිම් වී පිහිටයි. බර්බර්, අරාබි සහ යුරෝපා සංස්කෘතීන් මොරොක්කෝවේ දකින්න ලැබේ. මොරොක්කෝවේ අගනුවර රබාත් ය. මොරොක්කෝවේ ජනගහනය 34,803,500 කි. අරාබි රටවල් අතර ජනගහනය අතින් පස්වැනි ස්ථානයට පත් වී ඇත්තේ මොරොක්කෝවය.

පාප්තුමන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) රබාත් අගනුවර රබාත් ක්‍රීඩංගනයේ දේව මෙහෙයක් ද පාප්තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර 10,0000 කට වැඩි බැතිමතුන් පිරිසක් ඊට සහභාගී වූ බව වාර්තා වේ. මොරොක්කෝවේ කතෝලික බැතිමතුන් 35,000 ක් සිටින බව ද පැවැසෙයි.

ඊයේ (31) දේව මෙහෙයේදී, අප කවුරුත් එකිනෙකාට ආදරය කළ යුතු බවත් කරුණාව දැක්විය යුතු බවත් පාප්තුමෝ අවධාරණය කළහ. ආගම කුමක් වුණත් අප සැවොම මනුෂ්‍යයන් බවත්, සැමවිටම අප එකිනෙකාගේ පිහිට වෙනුවෙන් සිටිය යුතු බවත් පාප්තුමෝ පැහැදිලි කළහ. මෙක්සිකෝ ඇමෙරිකා දේශසීමා වසා දමා, සංක්‍රමණිකයන් නැවැත්වීමටත්, ගෞතමාලා, හොන්ඩුරාස් සහ එල් සැල්වදෝර් යන ලතින් ඇමෙරිකා රටවලට ලබා දෙන ආධාර නැවැත්වීමටත් පියවර ගන්නා බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත. මේ සම්බන්ධයෙන් පාප්තුමෝ දේව මෙහෙය අතරතුරේ සිය අප්‍රසාදය පළ කළහ.

පාප්තුමෝ රබාත් අගනුවර බලා පැමිණියේ මොරොක්කෝ රජු සමඟ රිය පෙරහරකිනි. රිය පෙරහර ගමන් කරද්දී, 17 හැවිරිදි දැරියක උදව් ඉල්ලමින් පාප්තුමන් සහ රජතුමන් ගමන් කරන්න වූ රථය වෙත දිව ආවාය. ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වී දැරිය අල්ලා ගන්නා ලදී. පසුව දැනගන්න ලැබුණේ දැරියගේ මාපියන් දැඩි ලෙස රෝගීව සිටින බවත් ඔවුන්ට පිහිටක් වෙන්නැයි ඉල්ලමින් දැරිය පාප්තුමන් හමුවීමට උත්සාහ කළ බවත්ය.

රබාත්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS