ප්‍රතිසංස්කරණවලට ට්‍රම්ප්ගේ අනුමැතිය



ඇමෙරිකා පොලිස් සේවය ප්‍රතිසංස්කරණයට ලක් කිරීමේ විධායක නියෝගයට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළේය.

එම නව ප්‍රතිසංස්කරණ යටතේ පොලිස් නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ක්‍රමෝපායන් වෙනස් කෙරෙන අතර, පොලිස් නිලධාරීන් සෑම කෙනකු සම්බන්ධයෙන්ම සවිස්තරාත්මක විස්තර ඇතුළත් පරිගණකගත දත්ත ජාලයක් ස්ථාපිත කෙරෙනු ඇත.

විධායක නියෝගය යටතේ සිදු කෙරෙන එම නව ප්‍රතිසංස්කරණ සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දීම සිදුවන්නේ ඇමෙරිකන් ෆෙඩරල් රජයේ අරමුදලිනි.

‍ඇමෙරිකන් පොලිස් සේවය මේ අයුරින් ප්‍රතිසංස්කරණවලට ලක් කෙරෙන්නේ, එරට අප්‍රිකන් ඇමෙරිකන් කළු ජාතිකයන් සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩන්තේට්ටන් හමුවේ මියයෑම සැලකිල්ලට ගනිමිනි.

පසුගිය මාර්තු 25 වැනිදා ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයා පොලිස් අත්ඩංගුවේ දී මියගිය අතර, ඒ සමඟ ආරම්භ වුණු විරෝධතා ළැව් ගින්නක් සේ ඇමෙරිකාව පුරා පැතිර ගියේය. ඒ, ‍ෆ්ලොයිඩ් වෙනුවෙන් සාධාරණයක් ඉල්ලමින් සහ කළු ජාතිකයන්ගේ ජීවත් වීමට ඇති අයිතිය වෙනුවෙනි.

මෙම විරෝධතා පසුගිය 14 වැනිදා තවත් උත්සන්න විය. ඒ, ඇට්ලැන්ටා  නුවරදී රෙෂාඩ් බෲක්ස් නමැති කළු ජාතිකයා සුදු පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ අඩන්තේට්ටම්වලට ලක් වී, පසුව එක් පොලිස් නිලධාරියකු කළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත් විය.

ජෝර්ජ් ෆ්ලොයිඩ් මියයෑමේ සිදුවීම මුල්කොට ගනිමින්, පොලිස් නිලධාරීන් සැකකරුවන් මර්දනයට යොදා ගන්නා ක්‍රමවේද වෙනස් කළ යුතු බව ජනපති ට්‍රම්ප් විරෝධතාකරුවන්ට පවසා තිබුණත්, ප්‍රචණ්ඩකාරීන් මර්දනයට දැඩි මර්දනකාරී පිළිවෙතක් අවශ්‍ය බව ද පෙන්වා දුන්නේය. ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය, ඇමෙරිකාව පුරා ආරම්භ වුණු විරෝධතා තවත් උත්සන්න කිරීමට හේතුවක් විය.

මේ අතර, ජනපති ට්‍රම්ප්ගේ ප්‍රතිසංස්කරණවලට අමතරව, ප්‍රාන්ත මට්ටමින් ද පොලිස් නිලධාරීන් වෙනුවෙන් දළදඩු ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට ද පියවර ගෙන තිබේ. විරෝධතා ආරම්භ වුණු මිනියැපොලිස්, ඇට්ලැන්ටා වැනි නගරවලත්, නිව්යෝක් නගරයේත් මෙසේ පොලිස් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS