තායිලන්ත හමුදා සෙබළෙක් යකා නටයි




තම හමුදා ප්‍රධානියා මරා දමා, දකින දකින අයට වෙඩි තබන්න වූ, තායිලන්ත හමුදා සෙබළෙක්, ඊයේ (8) සුපිරි වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලකට කඩා වැදී එහි සිටි 35 දෙනකු ප්‍රාණ ඇපයට ගත්තේය. සොල්දාදුවා කළ වෙඩි තැබීම්වලින් මියගිය ගණන 23 කි.
වියරු වැටී ඉවක් බවක් නොමැතිව වෙඩි තබමින්, වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලට කඩා වැදී එහි සිටි වැසියන් ප්‍රාණ ඇපයට ගත්තේ, ජක්රාපාන්ත් තොම්මා නමැති 32 හැවිරිදි හමුදා සොල්දාදුවය. ඔහු කඩා වැදුණේ නකෝන් රත්චසිමා නගරයේ ‘ටර්මිනල් 21’ නමැති සුපිරි වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලටය.
තොම්මාගේ ‘වියරුව’ ආරම්භ වී ඇත්තේ ‘සුවන්තාම් පිතාක්’ හමුදා කඳවුරින්ය. ඒ, තොම්මා ඔහුගේ අණ දෙන නිලධාරී කර්නල් ඇනැන්තරොෆ් ක්රාසේ වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසුවය. එම අවස්ථාවේදී, තොම්මා තවත් හමුදා සොල්දාදුවන් දෙදෙනකු ද වෙඩි තබා ඝාතනය කළේය.
ඉන්පසු අවි ආයුධවලින් සන්නද්ධ වූ තොම්මා, හමුදා කඳවුරේ ‘හම්වී’ වර්ගයේ ජීප් රියක නැගී නකෝන් රත්චසිමා නගරය බලා පැමිණියේය. එසේ පැමිණෙද්දී, ස්ථාන කිහිපයකට ගොස් ඉවක් බවක් නොමැතිව වෙඩි තබන්න විය.
තොම්මා බෞද්ධ පන්සලකට ද කඩා වැදුණු බව වාර්තා වේ. වෙඩි තබමින් පැමිණි තොම්මාගේ ගමනාන්තය වූයේ ‘ටර්මිනල් 21’ සුපිරි වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලය.
තොම්මා එම ගොඩනැගිල්ලට ඇතුළු වූයේ වෙඩි තබමින්, එහ දසුන් පටිගත කර, ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරමින්ය. තොම්මා, ගොඩනැගිල්ල තුළ සිටි පිරිස් ප්‍රාණ ඇපයට ගනිද්දී, තායිලන්ත පොලිසිය පැමිණ ගොඩනැගිල්ල වට කළේය. ඔවුන් සෙමින් සෙමින් ගොඩනැගිල්ලට ඇතුළු වී, එහි සිටි පිරිස් බේරා ගනිද්දී, තොම්මා ගොඩනැගිල්ලේ පහළ මහලේ කොටු විය.
පැය 12 ක් පුරාවට තොම්මා සහ තායිලන්ත පොලිස් නිලධාරීන් අතර වෙඩි හුවමාරු සිදුවිය. තායිලන්ත හමුදා නිලධාරීන් ද පැමිණ පොලිසියට සහාය දක්වන්න විය.



හමුදා සොල්දාදුවා කළ වෙඩි තැබීම් සම්බන්ධයෙන් තමන් කම්පනයට පත්වුණු බව තායිලන්ත අගමැති ප්‍රයාත් චා ඕචා පවසා ඇත. මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් අගමැතිවරයා කනගාටුව පළ කළේය. අගමැති ප්‍රයාත් චා ඕචා තායිලන්තයේ හිටපු හමුදාපතිවරයාය.
තොම්මා කළ වෙඩි තැබීම්වලින් තුවාල ලැබූ ගණන 31 දක්වා ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වේ.
තොම්මා වෙඩි තැබුම් කළේ ඇයිදැයි මෙතෙක් අනාවරණය වී නැත. කෙසේ නමුත් ඔහු දැඩි මානසික අසහනයකින් පෙළුණු අයකු බව පෙනී යන බව තායිලන්ත හමුදාව පවසා තිබේ.
බැංකොක්හිදීය (ඒ.එෆ්.පී.)

