ට්‍රම්ප්-බයිඩන් පළමු විවාදය ඇරැඹේ



ඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙර, ඊට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් අතර පළමු රූපවාහිනී විවාදය ඊයේ (29) ගාලගෝට්ටි මැද පැවැත්විණි.

රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය දෙවැනි සහ අවසන් ධුර කාලය අපේක්ෂාවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි.

ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන්, බැරැක් ඔබාමා ජනපති ධුරය හොබවද්දී උප ජනපති ලෙස කටයුතු කර තිබේ.

ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ එලැඹෙන නොවැම්බර් 3 වැනිදාය. ඊට පෙර, ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා සහභාගී වන සජීවී රූපවාහිනී විවාද තුනක් පැවැත්වෙයි.

ඊයේ (29) පැවැත්වූයේ පළමු විවාදයයි.

වාදය මෙහෙයවූ ෆොක්ස් නාළිකාවේ මාධ්‍යවේදී ක්‍රිස් වෙලෙන්ස්

විවාදය පැවැත්වූයේ විවාදය පැවැත්වූයේ ඔහියෝ ප්‍රාන්තයේ ක්ලීව්ලන්ඩ් නුවරය. විවාදය සජීවීව ඇමෙරිකන් රූපවාහිනී නාළිකා හරහා විකාශය වූ අතර, විවාදය මෙහෙයවූයේ ෆොක්ස් නාළිකාවේ මාධ්‍යවේදී ක්‍රිස් වෙලෙන්ස් ය.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසාංගතය, ඇමෙරිකාවේ අපරාධ රැල්ල, වාර්ගික ගැටුම්, සෞඛ්‍ය සහ අධ්‍යාපනය ආදිය විවාදයේ ප්‍රධාන මාතෘකා විය.

ට්‍රම්ප් සහ බයිඩන් වේදිකාවට ගොඩ වූයේ එකිනෙකාට ඔරවා ගනිමිනි. දෙදෙනා අතරේ අතට අත දීමක් සිදුවූයේ නැත.

මිලියන ගණනක් ඇමෙරිකානුවෝ සජීවීව පැවැති විවාදය නැරැඹූ බව ඇමෙරිකන් පුවත් සේවා පසුව පැවැසීය.

ජනපති ට්‍රම්ප් කතා කරද්දී, බයිඩන් උපහාසාත්මක අයුරින් ඔහුට බාධා කරන්න වූ අතර, බයිඩන් කතා කරද්දී ට්‍රම්ප් පෙරළා උපහාසයෙන් බයිඩන්ට බාධා කරන්න විය.

‘ඇති ඇති. කට පියාගෙන ඉන්නවා’ යැයි ට්‍රම්ප්, බයිඩන්ටත්, බයිඩන් ට්‍රම්ප්ටත් පැවසූ වාර අනන්තය. ‘ඇමෙරිකාවේ අසාර්ථකම ජනාධිපතිවරයා ඔබ යැයි’ බයිඩන්, ට්‍රම්ප්ගේ මුහුණටම පැවසුවේය. එවිට ට්‍රම්ප් පිළිතුරු දුන්නේ ‘මා තරම් වැඩ කරන ජනාධිපතිවරයකු සහ දුන් පොරොන්දු ඉටු කළ ජනාධිපතිවරයකු ඇමෙරිකාවට පහළ වී නැහැ’ කියාය.

අවසානයේ, අපේක්ෂකයන් දෙදෙනා එකිනෙකාට බැණ ගන්න පටන් ගත් අතර, ඔවුන් සන්සුන් කර ගැනීමට මාධ්‍යවේදී ක්‍රිස් වෙලෙන්ස්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

ට්‍රම්ප් හෝ බයිඩන් හෝ අවනත කර ගැනීමට ක්‍රිස් වෙලෙන්ස්ට හැකියාවක් ලැබුණේ නැත.

ට්‍රම්ප් දියණිය ඉවන්කා සහ සැමියා ජෙරාඩ් කුෂ්නර්, මුහුණු ආවරණ නොපැලඳ සිටි අයුරු ...

පළමු විවාදය පැවැත්වූයේ ‘කොවිඩ් 19’ හෙවත් කොරෝනා වයිරස වසංගතය මධ්‍යයේය.

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සහ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.

වයිරස වසංගතය හේතුවෙන් රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ නියෝජනය කරමින් විවාදයට සහභාගී වූ නරඹන්නන් සීමා කෙරුණි.

සෞඛ්‍ය උපදෙස්වලට ගරු කරමින් රිපබ්ලිකන් පාක්ෂිකයන් විවාදය නැරැඹීමට පැමිණ සිටියේ මුහුණු ආවරණ සහිතවය. කෙසේ නමුත්, ට්‍රම්ප්ගේ පවුලේ සාමාජිකයන් මුහුණු ආවරණ පැලඳ සිටියේ නැත. ට්‍රම්ප් බිරිඳ මෙලානියා මෙන්ම, ජෝ බයිඩන්ගේ බිරිඳ ජිල් ද විවාදයට පැමිණ සිටියහ.

ජනපති ට්‍රම්ප් බදු ගෙවීම් පැහැර හැරියේ යැයි පසුගිය දා ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කළේය. ඒ, බදු වාර්තා ද උපුටා දක්වමිණි.

ට්‍රම්ප් බදු ගෙවීම් පැහැර හැරීම විවාදයට බඳුන් වූ නමුත්, ට්‍රම්ප්ට අවාසි වන අයුරින් ඒ ගැන දිගින් දිගටම වාද කිරීමට බයිඩන් අපොහොසත් විය.

ට්‍රම්ප් තරයේ කියා සිටියේ තමන් මිලියන ගණනින් බදු ගෙවීම් කර ඇති බවත්, කිසිදු අවස්ථාවක බදු ගෙවීම් පැහැර හැර නොමැති බවත්ය.

ජනමත සමීක්ෂණ අනුව, එලැඹෙන ජනාධිපතිවරණයෙන් වැඩි වාසි ඇත්තේ ප්‍රතිවාදී ජෝ බයිඩන්ටය. ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය අඩු වීමට ප්‍රධාන හේතු දෙකක් බලපා ඇතැයි පැවැසෙයි.

එයින් එකක්, කොරෝනා වසංගතයයි. අනෙක, කළු සුදු අරගලයයි. ඇමෙරිකාවේ කොරෝනා වසංගත තත්ත්වයක් හටගත්තේ ට්‍රම්ප් ඒ ගැන නොසකලා සිටි නිසා යැයි චෝදනා එල්ල වී තිබේ.

කොරෝනා වයිරස වසංගතයට එරෙහි ඇමෙරිකාවේ නිපදවන එන්නත ජනාධිපතිවරණයට පෙර නොවැම්බර් පළමු වැනිදා ඇමෙරිකානුවන්ට ලබා දීමට ජනපති ට්‍රම්ප් සූදානම් වෙයි. කෙසේ නමුත් ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂකයන් සහ ඖෂධ නිෂ්පාදන සමාගම් පවසන්නේ එසේ කළ නොහැකි බවත්, අත්හදා බැලීම් අවසන් කර කොරෝනා මර්දන එන්නතක් සාර්ථකව එළිදැක්වීම සිදුවනු ඇත්තේ ලබන 2021 වසරේ බවත්ය.

2016 වසරේ දී ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වූයේ රුසියාවේ මැදිහත් වීමෙන්, රුසියන් පරිගණක හැකර්වරුන් ජනපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කළ නිසා යැයි බයිඩන් විවාදය අතරතුරේ යළි චෝදනා කළේ, ට්‍රම්ප් රුසියන් ජනාධිපති පුටින්ගේ කීකරු බලු කුක්කකු යැයි කියමිනි. ඊට අමතරව, ට්‍රම්ප් ‘කවටයකු’ ලෙස හඳුන්වා දීමට ද බයිඩන් කටයුතු කළේය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS