ට්‍රම්ප්ටත් මෙලානියාටත් කොරෝනා

ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 7,494,600 ක් ලෙස සටහන් වෙද්දී, තවත් ඇමෙරිකානුවෝ දෙදෙනකු ඒ අතරට එක් විය. ඒ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ සහ ඔහුගේ බිරිඳ මෙලානියා ය.
ඇමෙරිකාවේ කොරෝනා ඔඩුදුවන්න වූයේ ට්‍රම්ප් වයිරසය අවතක්සේරු කළ නිසා යැයි දිගින් දිගටම චෝදනා කරන බොහෝ දෙනකුට, විශේෂයෙන් ඩිමොක්රටික් පාක්ෂිකයන්ට අස්වැසිල්ලක් වූ බව නොඅනුමානය.
ට්‍රම්ප් දිගින් දිගටම කියා සිටියේ ඇමෙරිකාවේ ආසාදිතයන් වැඩි වී ලොව අංක එක ස්ථානයට පත් වීම ගැන සතුටු විය යුතු බවය. ට්‍රම්ප් එසේ කීවේ, ආසාදිතයන් සොයා දිනකට ලක්ෂ ගණනින් වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම ගැන සෞඛ්‍ය අංශ වෙත ප්‍රශංසා කරමිණි.
ට්‍රම්ප් සහ මෙලිනියා කොරෝනා ආසාදිතයන් යැයි සැක කරමින් ඔවුන් දෙදෙනා ධවල මන්දිරයේ නිරෝධායනයට ලක් කර, වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කෙරුණේ, ට්‍රම්ප්ගේ සමීපතම උපදේශිකාවක වන හෝප් හික්ස් කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසුවය.
ඇමෙරිකා ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ එලැඹෙන නොවැම්බර් 3 වැනිදාය. සිය දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙන් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයෙන් ඊට ඉදිරිපත් වීමට නියමිතය. ජනාධිපතිවරණයේ දී ප්‍රතිවාදියා ලෙස ඩිමොක්රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන්නේ ජෝ බයිඩන් ය.
ජනාධිපතිවරණයට පෙර, සජීවී රූපවාහිනී විවාද තුනක් පැවැත්වෙන අතර එහි පළමු වැන්න ගාලගෝට්ටි මැද පසුගිය 30 වැනිදා පැවැත්විණි.


ට්‍රම්ප් සහ හෝප් හික්ස්
ට්‍රම්ප් සහ මෙලානියා සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලය ‘එයාර් ෆෝස් 1’ නිල ගුවන් යානයෙන් ඔහියෝ ජනපදයේ ක්ලීව්ලන්ඞ් නුවර පැවැති එම විවාදයට සහභාගී වූ අවස්ථාවේදී, 31 හැවිරිදි හෝප් හික්ස් ද ට්‍රම්ප් යුවල සමඟ එක් වූවාය. ගුවන් ගමනේ දී කිසිවකු මුහුණු ආවරණ පැලඳ සිටියේ නැතැයි ද පැවැසෙයි. සජීවී විවාදයට සහභාගී වූ බොහෝ දෙනකු (ඩිමොක්රටික් පාක්ෂිකයන් හැර) මුහුණු ආවරණ පැලඳ සිටියේ නැත.
විවාදයට ට්‍රම්ප්ගේ පවුලේ සාමාජිකයන් සහභාගී වූ අතර ඔවුන් කිසිවකු ද මුහුණු ආවරණ පැලඳ සිටියේ නැත. ආරම්භයේ දී මුහුණු ආවරණ පැලඳීම ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළත්, පසුව සෞඛ්‍ය උපදෙස්වලට කන් දෙමින්, මුහුණු ආවරණ පලඳින්නැයි ඇමෙරිකන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය. කෙසේ නමුත් මුහුණු ආවරණ පලඳින්නැයි තමන් බල නොකරන බව ට්‍රම්ප් පැවැසුවේය.
සජීවී විවාදය අතරතුරේ කොරෝනා වසංගතය ප්‍රධාන මාර්තෘකාවක් වූ අතර, ට්‍රම්ප් වයිරසයේ බිහිසුණු ස්වරූපය දැන සිටියත්, එය ඇමෙරිකානුවන්ගෙන් වසං කළ බවටත්, සෞඛ්‍ය උපදෙස් පිළිනොගත් බවටත් බයිඩන්, ට්‍රම්ප්ට දොස් නැගුවේය. අද ඇමෙරිකාවේ සෑම නිවසකම එක් අයකු කොරෝනා වයිරසයට බිලි වී ඇති බවත් ඊට ට්‍රම්ප් වගකිව යුතු බවටත් ජෝ බයිඩන් දොස් නැගුවේය.
කොරෝනා සම්බන්ධයෙන් බයිඩන්ගේ ආකල්ප මුළුමනින්ම වෙනස්ය. ඔහු පවසන්නේ, ඔහු ජනපති ධුරයට පත්වුවහොත්, මුහුණු ආවරණ අනිවාර්ය කරන බවත්, මුහුණු ආවරණ නොමැති නම් දඬ මුදල් අය කිරීමට පියවර ගන්නා බවත්ය.
සී.එන්.එන්.

