කිම් ජොන් උන් චීන ජනපති හමුවෙයි

කාටත් හොරා උතුරු කොරියා නායක කිම් ජොන් උන්, දේශසීමා හරහා විශේෂ දුම්රියකින් චීනයට පැමිණි බවත්, චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා කළ බවත් මේ වනවිට තහවුරු වී ඇත.
පියාගෙන් පසු කිම් ජොන් උන් උතුරු කොරියාවේ නායකයා වූයේ 2011 වසරේදීය. ඉන්පසු ඔහු විදේශයක සංචාරය කළ පළමු අවස්ථාව මෙය විය.
කිම් ජොන් උන් පැමිණි දුම්රියට චීන රජයෙන් විශේෂ ආරක්ෂාවක් ද ලබා දී තිබුණු බව මේ වනවිට හෙළි වී ඇත.
උතුරු කොරියානු නායකයා බීජීං බලා පැමිණියේ තනිවම නොව, බිරිඳ රී සොල් ජූ ද සමඟය. ඔවුහු දෙදෙනා, චින ජනපති ෂී ජින් පින් සහ බිරිඳ සමඟ සමූහ ඡායාරූපයකට පවා පෙනී සිටියහ.
ලබන මැයි මාසයේදී, කිම් ජොන් උන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් අතර හමුවක් පැවැත්වෙයි. ඊට පෙර, දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සහ කිම් ජොන් උන් හමුවීමට නියමිතය.
කිම් ජොන් උන් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර පවතින අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණු අතර, එම සාකච්ඡා සාර්ථක වූ බව ද පැවැසෙයි.
උතුරු කොරියාව සැබැවින්ම සාකච්ඡා මාර්ගයෙන් අර්බුද විසඳා ගැනීමට සූදානම් බව නායක කිම් ජොන් උන්ගේ මෙම සංචාරයෙන් පෙනී යන බව විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(ඩේලිමේල්)

