ක්‍රයිස්ට්චර්ච් ඝාතකයා දිවි ඇතිතෙක් හිරේ



නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකකට කඩා වැදී 51 දෙනකු වෙඩි තබා මරා දැමූ බ්‍රෙන්ටන් ටැරන්ට් නමැති සුදු අන්තවාදී තරුණයාට ජීවිතාන්ත සිර දඬුවමක් හිමිවිය.

නවසීලන්ත අධිකරණයක් මේ අයුරින් පුද්ගලයකුට ජීවිතාන්ත සිර දඬුවමක් ලබා දුන් පළමු අවස්ථාව මෙයයි. නවසීලන්තයේ සිදුවුණු බිහිසුණුම වෙඩි තැබීමේ සිදුවීම ලෙස සැලකෙන්නේ බ්‍රෙන්ටන් ටැරන්ට්ගේ මෙම ප්‍රහාරයයි.

29 හැවිරිදි බ්‍රෙන්ඩන් ටැරන්ට්, ඔස්ටේලියාවෙකි. මිනීමැරුම් චෝදනා 51 ක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා 40 කට ඔහු වරදකරු විය. ඊට අමතරව, ත්‍රස්ත ක්‍රියාවක් සිදු කිරීම යන චෝදනාව සම්බන්ධයෙන් ද සුදු ජාතික බ්‍රෙන්ඩන් ටැරන්ට් වරදකරු වූ බව නවසීලන්ත පුවත් සේවා වාර්තා කළේය.

බ්‍රෙන්ඩන් ටැරන්ට්, ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකකට කඩා වැදී ඒවායේ සිටි නවසීලන්ත මුස්ලිම් වැසියන් වෙඩි තබා අමුඅමුවේ ඝාතනය කළේ පසුගිය 2019 මාර්තු 15 වැනිදාය. වෙඩි තබන දසුන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කිරීමට ද ටැරන්ට් පියවර ගත්තේය.


තමන් එසේ කළේ නවසීලන්තය මුස්ලිම් සංක්‍රමණිකයන් විසින් ආක්‍රමණය කරනු ලැබ ඇති නිසා බවත්, නවසීලන්ත සුදු ජාතිකයන්ගේ අයිතීන් සුරැකීමට බවත් බ්‍රෙන්ඩන් ටැරන්ට් අධිකරණයට පැවැසුවේය.

නඩුතීන්දුවට සහය පලකරමින් සහ සිද්ධියෙන් අසරණවූ මුස්ලිම් ජනතාවට සහය පලකිරීමට රැස්වූ ජනතාව

ක්‍රයිස්ට්චර්ච් මුස්ලිම් ප්‍රජාව සේම, ටැරන්ට් කළ වෙඩි ප්‍රහාරවලින් මියගිය මුස්ලිම් වැසියන්ගේ ඥාතීන් ද අධිකරණය ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් සෑහීමකට පත්වුණැයි ද නවසීලන්ත පුවත් සේවා වාර්තා කළේය. බ්‍රෙන්ඩන් ටැරන්ට්, කිසිදු සමාවක් නොලැබිය හැකි ආකාරයේ සමාවක් නොලැබිය හැකි තිරිසනකු යැයි මුස්ලිම් ප්‍රජාව පවසා ඇත.

ක්‍රයිස්ට්චර්ච්හිදීය (රොයිටර්)
ඡායාරූප - සංඛ විදානගම ක්‍රයිස්ට්චර්ච් සිට

RECOMMEND POSTS