එන්නත ආවා!

කොවිඩ් 19 රෝගයට එරෙහිව ලබාදීමට නියමිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ පහක තොගය එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් යානයක් මගින් අද (28) ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබිණි.
මෙම ගුවන් යානය පෙරවරු 11.40 ට පමණ කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි අතර එය භාරගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පැමිණ සිටියේය.
ඉන්දීය රජයෙන් ප්‍රදානයක් ලෙස නොමිලේ ලැබුණු මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත කටුනායක ගුවන් තොටුපලේදී භාරදෙනු ලැබීය.


එන්නත ලබාදීම හෙට (29) සිට දිවයින පුරා ස්ථාන ගණනාවකදී ආරම්භ වන අතර පළමුව එන්නත ලබාදීම සඳහා තෝරාගත් පිරිස අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල 1,50,000ක්, හමුදාව හා පොලීසිය නියෝජනය කරන අය සිටින බව කොවිඩ් එන්නත් ලංකාවට ලබාගැනීම සඳහා පත්කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා පැවසීය.
එක් අයකුට මාත්‍රා දෙක බැගින් ලබාදිය යුතු නිසා මෙම එන්නත් තොගය මෙරට ජනගහණයෙන් ලක්ෂ දෙක හමාරකට ලබාදිය හැකි බවත්, කොවිඩ් මර්දන කටයුතුවල දී ඉදිරියෙන් සිටින ඉදිරිපෙල සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට, යුද හමුදාවේ හා පොලීසියේ සාමාජිකයින්ට මෙන්ම ගුවන් තොටුපල කාර්ය මණ්ඩලවලට හා කොවිඩ් මධ්‍යස්ථානවල කටයුතු කරන අයට මෙම එන්නත පළමුව ලබාදෙන බව ද වීරතුංග මහතා පැවසීය.
(ඩයනා උදයංගනී)

