ඇමෙරිකා හමුදාවේ හුවමාරු මෙහෙයුමක්



ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ තාවකාලික භාණ්ඩ හුවමාරු මෙහෙයුම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ඊයේ (23) පස්වරුවේ පවත්වන ලදි.

මෙම මෙහෙයුම යටතේ ජාත්‍යන්තර මුහුදේ නවතා තිබෙන යු.එස්.එස්. ජෝන් සී ස්ටෙනිස් නෞකාව වෙත භාණ්ඩ හුවමාරු කරන ලදි.

බහ්රේනයේ සිට පැමිණි එක්සත් ජනපදයට අයත් ගුවන් යානයකින් එම භාණ්ඩ තොගය රැගෙන එන ලද අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නවතා තිබූ ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ වී.සී.ආර්. 30, “ද ප්‍රොවයිඩර්ස්” භට කණ්ඩායමට අයත් කුඩා ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකකින් එම භාණ්ඩ තොගය රැගෙන යන ලදි. එම යානා දෙක අදාළ භාණ්ඩ තොගය රැගෙන ජාත්‍යන්තර මුහුදේ නවතා තිබෙන යු.එස්.එස්. ජෝන් සී ස්ටෙනිස් නෞකාව වෙත ගමන් කළේය. 

මෙම භාණ්ඩ තොගයට නාවිකයන්ට ලැබුණු පෞද්ගලික ලිපි, කඩදාසි ද්‍රව්‍ය, අමතර කොටස්, මෙවලම් යනාදිය ඇතුළත් බවත් නැව් භාණ්ඩ, යුද උපකරණ යනාදි කිසිවක් මීට ඇතුළත් නැති බවත් තාවකාලික භාණ්ඩ හුවමාරු වැඩසටහනෙන් පසු මෙහෙයුමට සහභාගී වන කිසිවකුත් ශ්‍රී ලංකාවේ රැඳී නොසිටින බවත් කොළඹ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කළේය.

මේ අතර මෙම තාවකාලික භාණ්ඩ හුවමාරු මෙහෙයුමෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට රුපියල් මිලියන 25ක මුදලක් ලැබෙන බව ද තානාපති කාර්යාලය තවදුරටත් සඳහන් කළේය.
 
හර්ෂණ තුෂාර සිල්වා
කොළඹදීය

 


RECOMMEND POSTS