අයි.එස්. නායකයාගෙන් වීඩියෝ දසුන් පෙළක්



අයි.එස්.අයි.එස් හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි, වසර පහකට පසු වීඩියෝ දසුන් පෙළක් හරහා පවසා ඇත්තේ, තම සංවිධානය ශ්‍රී ලංකාවේ කිතුනු දේවස්ථාන සහ හෝටල ඉලක්ක කර ගනිමින් පහර දුන්නේ, ඉරාකයේ අවසන් අයි.එස්.අයි.එස් බළකොටුව වූ බාගුස් නගරය තමන්ට අහිමි වූ හෙයින් ඊට පළිගැනීමක් ලෙස බවය.

වසර පහකට පසු අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ නායක අබු බක්ර් අල් බැග්ඩෑඩි පෙනී සිටි මෙම වීඩියෝ දසුන් පෙළ ප්‍රසිද්ධියට පත් කෙරුණේ අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ අල් ෆුර්කාන් මාධ්‍ය ජාලය හරහාය.

අයි.එස්. නායක අල් බැග්ඩෑඩි අවසන් වරට මේ අයුරින් වීඩියෝ දසුන් හරහා පෙනී සිටියේ 2014 වසරේදීය.

ඒ, අයි.එස්. සංවිධානය සිරියාවේත් ඉරාකයේත් ඔවුන් විසින් අල්ලා ගනු ලැබූ ප්‍රදේශ එක් කර ගනිමින්, ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවා ගනු ලැබු අවස්ථාවේදීය.

ඉරාකයේත් සිරියාවේත් අල්ලා ගත් ප්‍රදේශ දැන් තමන්ට අහිමි වී ඇති බවත් ඒ වෙනුවෙන් පළිගන්නා බවත්, තම සටන තවමත් අවසන් නැති බවත් අල් බැග්ඩෑඩි මිනිත්තු 18 ක එම වීඩියෝ දසුන් පෙළ හරහා පවසයි.

ඉරාකයේ අවසන් අයි.එස් බළකොටුව වූයේ බාගුස් නගරයයි. මෙම නගරය ද මේ වනවිට ඉරාක රජයේ හමුදා සහ ඔවුන්ට හිතවත් සෙසු සන්නද්ධ කල්ලි විසින් මුදා ගනු ලැබ ඇත.

බාගුස් නගරයේ බිඳ වැටීමත් සමඟ නායක අල් බැග්ඩෑඩි සහ ඉතිරි වූ අයි.එස්. ත්‍රස්තවාදීන් පලා ගොස් සැඟවුණු අතර, අල් බැග්ඩෑඩි මේ වනවිට සිටින්නේ කොහෙදැයි නොදනී.

ඉරාකයේත් සිරියාවේත් තම බලය ගිලිහී ගියත් ජිහාද්වරුන්ගේ සටන අවසන් නොමැති බව අයි.එස්. නායකයා පවසා ඇත. තම සංවිධානයට බුර්කිනා ෆාසෝ, මාලි ඇතුළු ලොව පුරා රටවල් රැසක ජිහාද් සටන්කාමී සංවිධානවල සහාය හිමිවන බව ද අල් බැග්ඩෑඩි වැඩිදුරටත් කියා සිටී.

(රොයිටර්ස්)


RECOMMEND POSTS