’කොවිඩ්’ එන්නත් 12 ක් අරන්



පසුගිය වසරක කාලය තිස්සේ තමන්, 'කොවිඩ් 19' සඳහා ලබා දෙන 'කොවැක්සින්' වර්ගයේ ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා 12 ක් ලබා ගත් බව ඉන්දියාවේ, බිහාර් ප්‍රාන්තයේ මධ්‍යපූර් පදිංචි 84 හැවිරිදි බ්‍රහ්මඩියෝ මැන්ඩල් මාධ්‍ය හමුවේ පවසා ඇත.

බ්‍රහ්මඩියෝ මැන්ඩල් ඉන්දීය තැපැල් දෙපාර්තමේත්තුවේ විශ්‍රාමික නිලධාරියෙකු වන අතර, ඔහු දරුණු ලෙස ආතරයිටිස් රෝගී තත්ත්වයෙන් පීඩා විඳි අයෙකි.

පළමු 'කොවැක්සින්' එන්නත් මාත්‍රාව ලබා ගැනීමෙන් පසු තමන්ගේ ආතරයිටිස් රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් නැතිවී ගිය බවත්, ඉන්පසු තමන් දෙවැනි මාත්‍රාව සහ තවත් මාත්‍රා 12 ක් ලබා ගත් බවත් බ්‍රහ්මඩියෝ මැන්ඩල් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

බ්‍රහ්මඩියෝ මැන්ඩල් පවසන ආකාරයට ඔහු පළමු එන්නත් මාත්‍රාව ලබා ගෙන ඇත්තේ පසුගිය 2021 ජනවාරියේය. ඒ වනවිට දැඩි ලෙස ආතරයිටිස් රෝගී තත්ත්වෙයන් සිටි තමන්ට නව පණක් ලැබුණු බවත්, රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම පහව ගිය බවත් බ්‍රහ්මඩියෝ මැන්ඩල් පවසයි. ඉන්පසු දෙවැනි එන්නත් මාත්‍රාව පෙබරවාරි මාසයේ ලබා ගත් පසු තවත් එන්නත් මාත්‍රා ලබා ගැනීමට බ්‍රහ්මඩියෝ මැන්ඩල් උනන්දු වී ඇත.

ඔහු එන්නත් කාඩ්පත් දෙකක් භාවිත කරමින් එන්නත් ලබාගෙන තිබේ. ඒ, ඔහුගේ හැඳුනුම්පත සහ ඡන්ද කාඩ්පත භාවිත කරමිණි. ඔහු වැඩිපුර එන්නත් ලබාගත් බව සෞඛ්‍ය බලධාරීන්ට හෙළි වී ඇත්තේ 13 වැනි මාත්‍රාව ලබා ගැනීමට ගිය අවස්ථාවේදීය. ඒ වනවිට ඉන්දියානුවන් බොහෝ දෙනකුගේ එන්නත්කරණ දත්ත පරිගණකගත කර තිබුණු බව ද ඉන්දීය මාධ්‍ය පැහැදිලි කරයි.

'කොවැක්සින්' යනු ඉන්දියාවේ භාරත් බයෝටෙක් ඖෂධ සමාගම සියයට 100 ක් ඉන්දීය තාක්ෂණයෙන් නිපදවන 'කොවිඩ් 19" ප්‍රතිශක්තිකරණ එන්නතය. එන්නත් මාත්‍රා ප්‍රමාණය ඉක්මවා ලබා ගත් තමන්ට කිසිදු අතුරු ආබාධයක් නොමැති බව ද බ්‍රහ්මඩියෝ මැන්ඩල් වැඩි දුරටත් කියා සිටී.

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)


RECOMMEND POSTS