වාර්තා පොතට ගිය දිගම අකුණ



ලෝක වාර්තා අතරට ගිය අකුණක් එසේත් නැතිනම් විදුලි කෙටීමක් ගැනයි මේ කියන්න හදන්නේ. පුදුම හිතේවි; මේ අකුණ කිලෝමීටර 829 (සැතපුම් 515) ක් දිගින් යුක්තය.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය මේ අකුණ ගැන ලොවට හෙළි කළේ පසුගියදාය. ඒත්, මේ අකුණ හටගෙන ඇත්තේ 2017 ඔක්තෝබර් 22 දිනයේය.

තාක්ෂණයේ දියුණුවත් සමඟ ලබාගත් දත්ත සහ ඡායාරූප පාදක කර ගනිමින්, එය ලෝකයේ මෙතෙක් වාර්තා වූ දිගට අකුණ යැයි තීරනය කිරීමට කාලගුණ විද්‍යාඥයන්ට වසර අටක් පමණ ගතවිය.

කාලගුණ විද්‍යාඥයන් විසින් මෙගාෆ්ලෑෂ් (Megaflash) යන නමින් නම් කළ මෙම අකුණු සැරය, 2017 ඔක්තෝබර් 22 වන දින ඇමරිකාවේ ටෙක්සාස් සහ කැන්සාස් ජනපද අතර හටගෙන ඇත. ඒ, ප්‍රචණ්ඩ කුණාටුවක් පැවැති අතරතුරේදීය.

ශ්‍රී ලංකාවේ දිග පළල මනිද්දී, පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා දිග වන්නේ කිලෝ මීටර් 432 කි. එසේ නම්, මෙගාෆ්ලෑෂ් (Megaflash) මෙම අකුණ අප ශ්‍රී ලංකාව මෙන් දෙගුණයත් දිගය.

මීට පෙර වාර්තා වී තිබූ දිගම අකුණු සැරය කිලෝමීටර 768ක් (සැතපුම් 477) ක් දිග යැයි පැවැසෙයි. එය ද හටගෙන ඇත්තේ ඇමෙරිකාවේය. ඒ, 2020 අප්‍රේල් 29 වැනිදාය. එම අකුණ මිසිසිපි සහ ටෙක්සාස් ජනපද අතරේ ඇති වූ බව පැවැසෙයි.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS