ව්‍යාඝ්‍රයා බලන්න බුරුතු පිටින්



ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ, ඇට්කොනා නමැති කුඩා ගම්මානයේ වැසියන් උදෑසන අවදි වූයේ මහත් පුදුමයෙන් සහ කලබලයෙන් යැයි ඉන්දීය මාධ්‍ය උපුටා දක්වමින්, ‘ඬේලිමේල්’ වෙබ් අඩවිය පවසයි.

ගම් වැසියන් පුදුමයටත් කලබලයටත් පත් වූයේ එක් නිවසක් අසල තාප්පයක් මත දැවැන්ත ව්‍යාඝ්‍රයකු සැතපී සිටිනු දැකීමෙනි. ව්‍යාඝ්‍රයා ඊට පෙර දින ගම්මානයේ නිවසකට ඇතුළු වී නිදාගෙන සිටි බව පසුව අනාවරණය වූ අතර, එය ගම්වැසියන් භීතියට පත් කිරීමට හේතුවක් විය.

ව්‍යාඝ්‍රයා කිසිදු කලබලයක් නොමැතිව නිවසේ තාප්පය මත සැතපී සිටි බැවින්, ලොකු කුඩා බොහෝ දෙනකු එම නිවස වටා එක් රොක් වූයේ ව්‍යාඝ්‍රයා නැරැඹීමටය. සිද්ධිය සැලවීමෙන් පසු, වන ජීවී නිලධාරීන් කණ්ඩායමක් ද ලහිලහියේ ගම්මානයට පැමිණ ඇත.

ව්‍යාඝ්‍රයා ඇට්කොනා ගම්මානයට නුදුරින් පිලිබිත් දිස්ත්‍රික්කයේ ව්‍යාඝ්‍ර රක්ෂිතයේ සිට ආ ව්‍යාඝ්‍රයෙකි. අවුරුදු දෙකක් පමණ වයසැති ඌ ව්‍යාඝ්‍ර ධේනුවක බව වන ජීවී නිලධාරීහු පැවැසූහ. නිර්වින්දනය කිරීමෙන් පසු, තුවාලවලට බෙහෙත් දමා, ව්‍යාඝ්‍ර ධේනුව වනරක්ෂිතයට මුදා හැරීමට වන ජීවී නිලධාරීහු පියවර ගත්හ.


RECOMMEND POSTS