මිනිස් රොබෝ බොක්සිං සටන

ලොව පළමු වරට, මානවරූපී රොබෝවකු සහ මිනිසකු අතර බොක්සිං තරගයක් පසුගිය දා ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර දී පැවැත්විණි.
මානවරූපී යනු මනුෂ්‍යයකු මෙන් හිසක්, සිරුරක්, අතපය ආදිය ඇති රොබෝවකි.
බොක්සිං සටනට එක්වූයේ අඩි 6 ක් උසැති REK නමැති රොබෝය. මේ රොබෝ, පෙනුමින් 'ටර්මිනේටර්' චිත්‍රපටවල දකින්න ලැබෙන නපුරු රොබෝවකු වැනිය. REK රොබෝ සමග බොක්සිං සටනට ගියේ ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු වන ෆ්‍රැන්කි ලැපෙනා ය.
තරගය ආරම්භයේ දී ලැපෙනාගේ මුෂ්ටි ප්‍රහාරවලින්, රොබෝ පසුබෑමට ලක් වුවත්, තරගය අවසන් වූයේ රොබෝගේ ප්‍රහාරවලින් ලැපෙනා අඩපණ වීමෙනි.
REK කෘත්‍රිම බුද්ධි රොබෝවකු නොවෙයි. රොබෝ මෙහෙයවමින් සටන් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීම කළේ රොබෝගේ නිර්මාණකරුවන්ය. ඒ නිසා මේ සටන, මිනිසකු සහ මිනිසුන් කණ්ඩායක් විසින් හසුරවනු ලැබූ රොබෝවකු විසින් කළ එකක් යැයි කීවොත් එය ද වැරදි නැත.

