මාස්ක් නැති දැරියක් ගුවන් ගමනක් අවලංගු කරයි



කැනඩාවේ ගුවන් ගමනකට එක් වුණු අවුරුදු තුනක දැරියක, මුහුණු ආවරණ පැලඳීම අදිමදි කිරීම බැවින්, එම ගුවන් ගමන අවලංගු කිරීමට ගුවන් සේවා බලධාරීන්ට සිදුවුණු බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි.

දැරිය සිය මා පියා සමඟ අසුන්ගෙන සිටියේ කැනඩාවේ කැල්ගරි නුවර සිට ටොරෙන්ටෝ නුවර තෙක් පියාසර කිරීමට සූදානම් වූ ‘වෙස්ට් ජෙට්’ ගුවන් සේවයට අයත් ‘අංක 652’ ගුවන් යානයේය. 

‘කොවිඞ් 19’ කොරෝනා වයිරසය හේතුවෙන් කැනඩාවේ ලොකු කුඩා කාටත් මුහුණු ආවරණ අනිවාර්ය කර තිබේ. අවුරුදු 3 ට අඩු නම් මුහුණු ආවරණ පැලඳීම අනිවාර්ය නොවේ. ගුවන් ගමනක යෙදෙන්නේ නම්, දරු දැරියන් මුහුණු ආවරණ සහිතව පැමිණිය යුතුය.

ආන්දෝලනවක් ඇති කළ මෙම දැරිය ඉන්දීය සම්භවයක් ඇති කැනේඩියානුවෙකි. ඇගේ පියා චෞදි නමැත්තෙකි. සිදුවුණේ කුමක්දැයි ඔහු බීබීසී පුවත් සේවයට මෙසේ පවසා තිබේ.

"මා බිරිඳ සහ දියණියන් දෙදෙනා සමඟ ගුවන් යානයට ගොඩ වී අසුන් ගෙනයි සිටියේ. පොඩි දියණියට අවුරුදු 3 යි. ඇය යානයට ඇතුළු වූයේ මුහුණු ආවරණයක් දමාගෙන. ඒත් මුහුණු ආවරණ පැලඳ සිටින්න ඇයගේ කැමැත්තක් නැහැ. හුස්ම ගන්න අමාරුයි ඇය නිතරම කියනවා. එදා බඩගිනියි කී නීසා යානය පිටත් වෙන්න ළඟ තිබූ පොඩි පොඩි කෑම ඇය කන්න පටන් ගත්තා. ඇය සිටියේ මුහුණු ආවරණය ඉවත් කරගෙන. ගුවන් සේවිකාවන් පැමිණ මුහුණු ආවරණය පැලඳ ගන්නැයි ඇයට සැරවුණා. ඇය එය ප්‍රතික්ෂේප කළා."

"ගුවන් සේවිකාවන් තදින්ම කියා සිටියේ දියණිය මුහුණු ආවරණය පලඳින්නේ නැතිනම් යානය ගුවන්ගත නොවන බවය. දියණිය දිගින් දිගටම මුහුණු ආවරණය පැලඳීම ප්‍රතික්ෂේප කළා. ඇය නොකඩවා අඬන්න පටන් ගත්තා. ඒ අනුව, ගුවන් සේවිකාවන් සහ නියමුවන් තීරණය කළා ගුවන් ගමන අවලංගු කරන්න. අසුන් ගෙන සිටි සියලුම මගීන්ට යානයෙන් පිටවෙන්නැයි කීවා"

බී.බී.සී.


RECOMMEND POSTS