බලු සුරතලාට වැඩියෙන් කන්න දීලා හිරේ



බලු සුරතලාට අධික ලෙස ආහාර ලබා දුන්නේ යැයි එම බලු සුරතලාගේ හිමිකාරිනියට නවසීලන්ත අධිකරණයක් මාස දෙකක සිරදඬුවමක් නියම කළේය.

නවසීලන්තයේ ඕක්ලන්ඩ් දිස්ත්‍රික් අධිකරණයක් මෙසේ  එම තැනැත්තියට මාස දෙකක සිර දඬුවමක් නියම කළේ, ඇය ඇගේ ‘නූගි’ නමැති බලු සුරතලාට සීමාවකින් තොරව ආහාර දීමත් එහි ප්‍රතිඵලයක් ලෙස එම බලු සුරතලා අධික ලෙස තරබාරු වී මියයෑමත් නිසාය.

මියයනවිට නුගායිගේ බර කිලෝ 54 කි. බලු සුරතලා කොතරම් තරබාරුවී ද යත්, වෙද නළාවකින් ‘නූගි’ගේ හෘද ස්පන්ධනය පවා බැලීමට පශු වෛද්‍යවරුන්ට නොහැකි වූ බව ද පැවැසෙයි. නඩු තීන්දුව පසුගිය දා ප්‍රකාශයට පත් කෙරුණු අතර, ‘නූගි’ මියගොස් ඇත්තේ 2021 දීය.

හිමිකාරිය සීමාවකින් තොරව ආහාර ලබා දීම හේතුවෙන්, ‘නූගි’ රෝගී වෙද්දී, ඕක්ලන්ඩ් නුවර ‘ප්‍රිවෙන්ෂන් ඔෆ් කෲවෙල්ටි ටු ඇනිමල්ස්’ ආයතනය, පශු වෛද්‍යවරුන්ගෙන් ලැබුණු තොරතුරු අනුව ක්‍රියාත්මක වී, පොලිසියේ ද සහාය ලබා ගනිමින්, ‘නූගි’ හිමිකාරියගෙන් වෙන් කර, රැකවරණය ලබා දුන් බව පැවැසෙයි. 

කෙසේ නමුත් ඒ වනවිට, ‘නූගි’ දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ අතර, ‘නූගි’ මියගොස් ඇත්තේ, ‘ප්‍රිවෙන්ෂන් ඔෆ් කෲවෙල්ටි ටු ඇනිමල්ස්’ ආයතනයේ රැකවරණය යටතේ සිටිද්දී යැයි ද මාධ්‍ය පවසයි

‘නූගි’ වෙනුවෙන් පෙනී සිටිමින් ඇගේ හිමිකරුට චෝදනා කරමින්, ඇයට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමට මැදිහත් වූයේ ද ‘ප්‍රිවෙන්ෂන් ඔෆ් කෲවෙල්ටි ටු ඇනිමල්ස්’ ආයතනයයි. ‘ප්‍රිවෙන්ෂන් ඔෆ් කෲවෙල්ටි ටු ඇනිමල්ස්’ අධිකරණයට පෙන්වා දී ඇත්තේ, ‘නූගි’ගේ හිමිකාරිය, දිනකට කුකුලු මස් කැබලි අටක් හෝ දහයක් ද සුනඛයන්ට ලබා දෙන විස්කෝතු අහුරු පිටින් ද ‘නූගි’ට ලබා දී ඇති බවය.

‘නූගි’ගේ මරණ පරීක්ෂණයක් ද සිදු කෙරුණු බවත්, අධික ස්ථුපභාවයෙන් පෙලුණු ‘නූගි’ගේ අක්මාව ඉදිමී නරක් වී තිබුණු බවත්, පශු වෛද්‍යවරුන් ඔවුන්ගේ වාර්තාවේ සඳහන් කර තිබේ.

සිර දඬුවමට අමතරව, හිමිකාරියට, නවසීලන්ත ඩොලර් 720 ක දඬ මුදලක් ද නියම කළ අතර, බල්ලන් ඇති කිරීම සම්බන්ධයෙන් ඇයට වසරක කාලයක තහනමක් ද පැනැවුණු බව ද පැවැසෙයි.

(නිවුස්වීක්)


RECOMMEND POSTS