කොරෝනා නසන්න ලාමා ප්‍රතිශක්තිය



ඔටු පවුලට අයත් ලාමා ලතින් ඇමෙරිකා රටවලට ආවේණික සත්වයෙකි. කිරි, මස් සහ ලොම් ලබා ගැනීමට ඇති කරන ගොවිපොල සතකු ලෙස ද ලාමා හඳුන්වා දිය හැකිය. යුරෝපා රටවල ද ලාමා සතුන් ගොවිපොල සතුන් ලෙස ඇති දැඩි කෙරේ.

මේ වනවිට ලාමා සතුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු වී ඇත. හේතුව, කොරෝනා වයිරසයට එරෙහිව නව එන්නතක් නිපදවීමට ලාමා උදවු වන බැවිනි. මෙසේ පවසන්නේ, බෙල්ජියමේ 'ගෙන්ට්' නමැති ජෛව තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයන්ය.

'ඩෙල්ටා' වැනි 'කොවිඩ් 19' වයිරස පවා අඩපණ කළ හැකි ආකාරයේ ප්‍රතිදේහ ලාමා සතුන්ගේ සිරුරේ ස්වභාවිකව නිපදවෙන බවත්, ඒවා භාවිතයට ගෙන සාර්ථක ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවිය හැකි බවත් බෙල්ජියම් විද්‍යාඥයෝ පෙන්වා දෙති.

'කොවිඩ් 19' යනු ක්ෂීරපායීන් අතර පැතිරෙන සහ ක්ෂීරපායීන්ගෙන් මනුෂ්‍ය අපට ආසාදනය වන 'කොරෝනා' නමැති වයිරස පවුලේ අලුත්ම සාමාජිකයාය.

'කොවිඩ් 19' විෂබීජ ලාමා සතුන්ගේ සිරුරුවලට ඇතුළත් කර, උන්ගේ සිරුරු ඊට ප්‍රතිචාර දක්වන ආකාරය බෙල්ජියම් විද්‍යාඥයන් විසින් අධ්‍යයනය කරනු ලැබීම ආරම්භ කර ඇත්තේ මීට මාස කීපයක පටන්ය.

(බීබීසී ඇසුරිනි)


RECOMMEND POSTS